ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා- කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා සහ ආයතනයේ  දැනට පවතින පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම පිණිස ඇමරිකා ඩොලර් ලක්ෂ පහළොවක මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට කොරියානු අපනයන ආනයන බැංකුව විසින් එකඟතාවය පළකර තිබේ.

කොරියානු අපනයන ආනයන බැංකුව විසින් සපයන ලද රුපියල් මිලියන 2900ක මූල්‍ය ආධාරයක් යටතේ ශ්‍රී ලංකා- කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය ඉදිකරනු ලැබ ඇත.

මාස 16ක කාල සීමාවක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ මෝටර් රථ තාක්ෂණය, නිෂ්පාදන තාක්ෂණය,පෑස්සුම් තාක්ෂණය, විදුලි තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ස්වයංක්‍රීය හා රොබෝ තාක්ෂණය, තරල බල තාක්ෂණය, මෙකා ට්‍රොනික් තාක්ෂණය ඇතුළු සියලුම පාඨමාලාවන් වල පොදු අවශ්‍යතාවයන් සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂිතය.

යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස දෙපාර්ශවය අතර අත්සන් තැබීමට නියමිත කෙටුම්පත් සහ අවබෝධතා ගිවිසුම සඳහා නීතිපති අවසරය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ එකඟතාවයද කැබිනට් අනුමැතිය ද ලැබී තිබේ.