පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් සමගි ජනබලවේගයට අයත් එම සාමාජික ධූරයේ පුරප්පාඩුවක් පවතිනවා.

පුරප්පාඩු වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත් කිරීමට මෙතෙක්  තීරණයක් ගෙන නොමැති බව සමගි ජනබලවේගය පවසනවා.

ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සාමාජිකයින් 31 දෙනෙකු ඇතුළත් වනවා.

සාමාන්‍යයෙන් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අදාළ මන්ත්‍රීවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ මහ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දෙනු ලබනවා.

ඒ, කෝප් කමිටුවේ පුරප්පාඩු වූ සාමාජිකත්වය සඳහා මන්ත්‍රීවරයෙකු නම් කර එවන ලෙසටයි.

එලෙස නම් කර එවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම ඉන් අනතුරුව යොමු කරනු ලබන්නේ තේරීම් කාරක සභාව වෙතයි.

එම තේරීම් කාරක සභාව විසින් අදාළ මන්ත්‍රීවරයාගේ නම අනුමත කළහොත් ඔහුට කෝප් කමිටුවේ සමාජිකත්වය හිමි වනවා.