ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශයක් සමඟ ඊයේ දින දේශපාලන ලෝකයේ දැඩි නොසන්සුන්තාවක් නිර්මාණය විය. නමුත් අවසානයේ එම නොසන්සුන්තාව අවසන් කිරීම සඳහා රංගේ බණ්ඩාරගේ අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයාට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට සිදුවිය. එහිදි ඔහුට එම ප්‍රකාශය බැහැර කරන්නට සිදු විය.

රංගේ බණ්ඩාර එවැනි ප්‍රකාශයක් කළේ ඇයිද යන්න පිළිබඳව එජාපයට මෙතෙක් පැහැදිලි කිරීමක් නොමැති අතර ස්ථාවරය වී ඇතැයි පැවසෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බැහැර කෙරෙන ජනමත විචාරණයක් වෙනුවට මැතිවරණයක් පැවැත්වීමයි.

“ඒක රංගේ බණ්ඩාරගේ පෞද්ගලික ප්‍රකාශයක් මිසක් වෙන දෙයක් නෙවෙයි. මේක ජනාධිපතිතුමාගේ තීරණයක් නෙවෙයි” යැයි එජාප ජ්‍යෙෂ්ඨයකු වන රවී කරුණානායක ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත.
ඔක්තෝම්බර් මාසයේදී නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඉන් අනතුරුව මහ මැතිවරණය පැවැත්වෙන බවත් කරුණානායක එහිදී ප්‍රකාශ කර ඇත.

ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී රංගේ බණ්ඩාර කියා සිටියේ “රට බේරාගැනීම සඳහා” ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය යෝජනා කරන බවයි. ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් පරිත්‍යාගශීලීන් සමඟ රජය ගිවිසුම්වලට එළඹ ඇති බවත්, මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය බවත් රංගේ බණ්ඩාර එහිදී පැවැසීය.

ආර්ථිකය ස්ථාවර කිරීම හැමදේටම වඩා වැදගත් බවත්, ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් ඔවුන් යෝජනා කරන බවත් කළ හැකි වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එය බවත් ඔහු එහිදී පැවැසීය.

එජාප මහ ලේකම්ගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ප්‍රකාශ කලේ එවැනි පියවරකට තමන් එකඟ නොවන බවත්, ජනාධිපතිවරයා එවැනි තීරණයකට නොයනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය. මහජනතාවගේ හඬ උදුරා ගැනීමෙන් ජයග්‍රහණයක් ලබාගත නොහැකි බැවින් මැතිවරණ කල් දැමීම හිතකර නොවන බව ඔහු පැවැසීය.

සමගි ජන බලවේගය සමග සහයෝගයෙන් කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පැවසුවේ, “සජබ ඒකට කවදාවත් සහය දෙන්නේ නැහැ. නියමිත පරිදි මැතිවරණය පැවැත්විය යුතුයි. මේක පාර්ලිමේන්තුවට ගෙනාවොත් කිසිම පක්ෂයක් ඒකට ඡන්දය දෙන්නේ නැහැ,” ගනේෂන් පැවැසීය.

ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මස දෙවැනි සතියේ පැවැත්වෙන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවත් පසුගිය සතියේ නිල නොවන මට්ටමින් දේශපාලන ලෝකයේ සාකච්ඡාවට ලක්විය.