ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය ජයගන්න නොහැකි නිසා ජනාධිපතිධුරය අහෝසි කරන්න උත්සහ කරන බවත් ජනාධිපතිවරයාට ජයග්‍රහනය කිරීමට නොහැකි මැතිවරණ සියල්ල නොපවත්වා සිටිමේ උත්සාහයක ජනාධිපතිවරයා නිරත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

ඊයේ (11) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ,

‘‘2024 ඔක්තොම්බර් මාසයට පෙර ජනාධිපති මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරලා තිබෙනවා. ජනාධිපති මැතිවරණය ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතුයි. මෙවැනි වාතාවරණයක් තුළ පසුගිය කාලය පුරා වර්තමාන අණ්ඩුව පාර්ලිමේන්තුවට අණ පනත් ගෙනල්ලා හිදිසියේ සම්මත කරලා තිබෙනවා.

මේ වනවිට ඔන්ලයින් පනත පාර්ලිිමේන්තුවේදී සම්මත කළා ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ගේන්න සුදානම් කරලා තිබෙනවා. ත්‍රස්ත පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලද නැද්ද කියන දේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙනවා.

මර්දනකාරී අණ පනත් ගෙනල්ලා ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ජයග්‍රහනය කර ගන්න අවශ්‍ය සැලසුම් ආණ්ඩුව සිදු කරන්න උත්සහ දරමින් සිටිනවා. රටේ තිබෙන සමාජ මාධ්‍ය ජාලාවලට , වෙබ් අඩවි වලට සහ සියලුම ජනමාධ්‍ය වලට එරෙහිව ඔන්ලයින් පනත ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ හරහා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තමන්ගේ යටතට පත් කර ගැනීම.

පවතින ආණ්ඩුවට එරෙහිව කරුණු කාරනා මතු කරමින් , ආණ්ඩුවේ වංචා දුෂණ හෙළි කරමින් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධිභාවය හා රට බංකොලොත් කළ පිරිසක් පාලනයේ රැඳී සිටිම ගැන සමාජ මාධ්‍ය හරහා විශාල විරෝධයක් ආණ්ඩුවට එල්ල වෙලා තිබෙනවා.

ඔන්ලයින් පනතේ කරණු 13 ක් සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ අනුව මෙම පනත සම්මත කර ගැනීමට නම් තුනෙන් දෙකක බහුතර බලයක් ආණ්ඩුව ලබාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා. එසේ ප්‍රකාශ කර තිබියදිත් ආණ්ඩුව මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තා.

ඔන්ලයින් පනත ගැන රටේ ආයතන කිහිපයක් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ආයතනවල හෙළි දරව්වලින් පෙනී යන්නේ ආණ්ඩුවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කරලා නැති බවයි.

ඔන්ලයින් පනතේ සම්මත වෙලා නැති කරුණු තිබෙනවානම් ඒ ගැන දැනුම් දෙන්න කියලා කතානායකවරයා නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. ලංකාවේ පළමුවැනි වතාවට තමයි මෙවැනි දෙයක් සිදුවෙලා තිබෙන්නේ. පනත සම්මත කරන්න කලින් පනත ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව සම්මත වෙලා තිබෙනවාද කියලා කතානායකවරයා සොයාබැලිය යුතුයි. නමුත් ඒ වගකිම කතානාකවරයා විසින් බැහැර කරලා තිබෙනවා.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඔන්ලයින් පනතේ අඩුපාඩු තිබෙනවා කියලා පිළි අරගෙන තිබෙනවා. අඩුපාඩු තිබෙනවානම් ඇයි ඔන්ලයින් පනත සම්මත කළේ. කතානායකවරයා ඔන්ලයින් පනතට පෙර තිබු පනත්වලට අත්සන් නොකර තමයි ඔන්ලයින් පනතට අත්සන් කර තිබෙන්නේ. ඔන්ලයින් පනතට විරුද්ධව මාධ්‍ය සංවිධාන , මාධ්‍ය ආයතන රැසක් විරෝධය පල කරලා තිබෙනවා. ඔන්ලයින් පනත අදහස් ප්‍රකාශක කිරිමට සහ අදහස් පළ කිරිමට එරෙහි පනතක් කියලා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරලා තිබෙනවා.

යුක්තිය පසදලිමේ ක්‍රියාවලිය කරන්න පාර්ලිමේන්තුවේදී ආඩුපාඩු සහිතව ඔන්ලයින් පනතක් සම්මත කරගෙන තිබෙනවා. ආඩුපාඩු සහිතව සම්මත කරගක් පනතකින් යුක්තිය ඉටු වෙයිද?

ආණ්ඩුව කියනවා ඔන්ලයින් පනත බ්‍රිතාන්‍යයෙත් තිබෙනවා කියලා. නමුත් බ්‍රිතාන්‍ය මේ පනත ගේන්න කලින් මාධ්‍ය ආයතන සහ සංවිධාන සමඟ අවුරුදු 4 ක් සාකච්ඡා කළා. නමුත් අපේ රටේ මාධ්‍ය ආයතන සහ සංවිධාන සමග සතියක්වත් සාකච්ඡා කළේ නෑ. ආණ්ඩුව උත්සහ කරන්නේ ජනාධිපති මැතිවරණයට මේ පනත භාවිතා කරන්න. ‘‘