ණය ප්‍රතිව්‍යුහගතකරණයට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට, තරුණ තරුණයන්ට රැකියා ලබාදීම, ඩෙංගු මර්දනය කිරීම, දූෂණය පිටුදැකීම, ආයෝජන දිරිමත් කිරීම ඇතුළු විවිධ සහායන් ලබා දෙන බවට ඊයේ (ඔක්. 2) දින රටවල් 7ක තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් ජනාධිපති අනුර දිසානායක හමුවූ අවස්ථාවේදී පවසා ඇත.

සියලු රටවල් සමග ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිවරයා මෙලෙස විදෙස් තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීම සිදු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව, කියුබාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) අතර හමුවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය හෘදයංගම සුබ පැතුම් පිරිනැමූ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා චීනය අඛණ්ඩව සහාය දක්වන බව ත් ශ්‍රී ලංකාව සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩව කැපවී සිටින බව ත් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සහයෝගීතා ව්‍යාපෘතිවල වැදගත්කම හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා සහාය දැක්වීම සඳහා චීන සංවර්ධන බැංකුව (CDB) සහ EXIM බැංකුවේ ක්‍රියාකාරී මැදිහත්වීම පිළිබඳවද මෙහිදී ඔහු විසින් අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) සහ ජනාධිපතිවරයා අතර හමුව ඊයේ පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා තවදුරට ත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් කැපවී සිටින බව ද ප්‍රකාශ කළේ ය.

සමුද්‍රීය ආරක්ෂාව, දේශසීමා පාලනය සහ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවට මහ කොමසාරිස්වරයා මෙම හමුවේදී සහතික විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට ද ඔස්ට්‍රේලියාවේ සහාය හිමිවන බව ත්, ශ්‍රී ලංකාව තුළ සෘජු විදේශ ආයෝජන (FDIs) ප්‍රවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියාව උනන්දුවෙන් පසුවන බව ත් මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා ඊයේ හමුවූ රාජ්‍යතාන්ත්‍රිකයන් අතර ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick)ද විය.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි පාලනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයේ සුබ පැතුම් එක් කළ මහ කොමසාරිස්වරයා අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පිළිබඳව ප්‍රසාදය පළ කෙරෙන III වැනි චාල්ස් රජුගේ සහ බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් (Sir Keir Starmer) මහතාගේ පෞද්ගලික සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි මහතා (Mizukoshi Hideaki) අතර හමුව ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.‍

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ ජපාන තානාපතිවරයා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරට ත් වැඩිදියුණු කිරීමට ජපාන රජය කැපවී සිටින බව ද සඳහන් කළේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා (Santosh Jha) අතර හමුව ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට හැකි සෑම ආකාරයකින් ම සහාය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටින බව ත් ශ්‍රී ලංකාව කලාපයේ සාමකාමී සහ ස්ථාවර රාජ්‍යයක් ලෙස ඉස්මතු වනු දැකීම සිය රටේ ප්‍රාර්ථනාව බව ත් ප්‍රකාශ කළේ ය