මෙරට මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන ආකාරයේ නිසි ක්‍රමවේදයක් නැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවේදී පවසයි.

පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල උගන්වන පාලිකාවන් 18,600ක් රට තුළ සිටියත් ඔවුන්ගෙන් පිළිගත් ඩිප්ලෝමාවක් ලබා ඇත්තේ 6,000ක් පමණක් යැයි පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එහි​දී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

“යුනිසෙෆ් වාර්තාවලට අනුව පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවලට යා යුතු වයසේ පසුවන දරුවන්ගෙන් 20%ක් ඊට යොමු වෙන්නේ නැහැ. ඉන් බහුතරය දරිද්‍රතාවෙන් පෙළෙන දරුවන්, පෙර පාසල්, රජයේ පාසල්වල ස්ථාපිත කරන්නට යන වැඩපිළිවෙළක් ගැන මේ සභාවේ කියැවුණා. නමුත් එහෙම වැඩපිළිවෙළක් නැහැ.
නමුත් සමහර පාසල්වල ගොඩනැඟිලිවල ඉඩකඩ තිබෙනවා. ඒ වගේ තැනක පෙර පාසලක් පිහිටුවීමට ගොඩනැඟිලි පහසුකමක් අවශ්‍ය නම් ලබාදෙන්න පුළුවන්.
මේ රටේ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන 18,600ක් විතර තිබෙනවා. ඒ ස්ථානවල 34,000ක් විතර පාලිකාවන් ඉන්නවා. ඉන් පිළිගත් ඩිප්ලෝමාවක් හිමිකර ගෙන තිබෙන්නේ 6,000යි.”

කෙසේනමු​ත් වත්මන් ක්‍රමවේදය තුළ එම දරුවන්ට කිසි දිනක ඉදිරියට යෑමට අවස්ථාවක් නොලැබෙන හෙයින් ඒ පිළිබඳ තමාට ඇත්තේ කණගාටුවක් බව ද මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික ප්‍රතිපත්තියක් සාදා තිබුණ ද ඒවා පාලනය කිරීම පිළිබඳ පළාත් සභාවලටත්, රජයටත් ක්‍රමවේදයක් නැති බව ද රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ එහිදී පැවසුවාය.