මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසන අතර එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 සිට 15 වන දින දක්වා පැවැත්විමට සැලසුම් කර තිබේ.

එසේම පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා

2023 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සිසුන්ට උසස් පෙළ පංති වෙත ඇතුළු වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසයි.

සිසුන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිඵල නැවත සමීක්ෂණ සදහා අයදුම්පත් යොමුකර ඇති අතර නැවත සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම් හේතුවෙන් එම සිසුන්ගේ උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැනීමේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව ගාමිණි වලේබොඩ මන්ත්‍රීවරයා පවසනවා.

එම නිසා නැවත සමීක්ෂණ කටයුතු සිදුකර එහි ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කරන මෙන් මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.