රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු විය හැකි නව ක්‍රමවේදයක් දරුවන්ට හඳුන්වාදීම පිළිබඳ සලකා බැලීමට තමා සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.

ඒ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලිවීමෙන් පසු පදනම් විභාගයකට මුහුණ දීමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු විය හැකි ක්‍රමවේදයක් බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ ද මේ පිළිබඳ සඳහන් වී ඇති බවත් ඉදිරියේදී පැවැත්වෙන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පිළිබඳ තීන්දුවක් ගැනීමට නියමිත බවත් ඔහු පවසයි

එහි දී පෞද්ගලික විශ්වවිද්‍යාල මෙවැනි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන බවත් එම නිසා පාසල් දරුවෙකුට උසස් අධ්‍යාපනයට පිවිසීමට ඇති කාලය කළමනාකරණය කරගත හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කර ඇත.

පළාත් මට්ටමින් සියලු ප්‍රාථමික අංශ සිසුන්ට ආහාර ලබා දීමට රුපියල් බිලියන 16.6ක මුදලක් කැබිනට් මණ්ඩලය අනුමත කළ බවත් තවත් සතියකින් එම චක්‍රලේඛය අනුමත වීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත.