ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිත එක්දින තරඟ තුන සඳහා වන අවසන් සංචිතය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව නායක දසුන් ශානකගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියි.

දසුන් ශානක ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ගුජරාටි ටයිටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරයි. ඔහු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත හැකි නමුත් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරග (සිම්බාබ්වේදී) ක්‍රීඩා කිරීමට ඇති නිසා, තේරීම් කමිටුව සඳහන් කරන්නේ ඔහුගේ අදහස් සඳහා ඔහුගේ පැමිණීම වැදගත් වන බවයි.

ශානකගේ කණ්ඩායම අද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව සුදුසුකම් ලැබීමේ 02වැනි තරගයට ක්‍රීඩා කරන අතර, අද එම තරගයේ ජයග්‍රහණය මත ඔහු පැමිණෙන දිනය තීරණය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සඳුදා හම්බන්තොට බලා පිටත් වෙන බවත්, දසුන් ශානක පැමිණි පසු වහාම අවසන් සංචිත‌යේ කටයුතු අවසන් කරන බවත් වාර්තා වේ.

කුසල් ජනිත් පෙරේරා සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් ඔහු 30දෙනෙකුගෙන් යුත් තාවකාලික සංචිතයෙන් ඉවත්ව සිටී. කෙසේ නමුත් පසුගියදා ආබාධයකට ලක්ව සිටි පැතුම් නිස්සංක හොඳින් සුවය ලබා ඇති බව වාර්තා වේ.

 

කවිඳු කාරියවසම්