ශ්‍රී ලංකා​වේ සංචාරයක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි​ට කළ ආරාධනාව ඔ​හු පිළිගෙන ඇති බව වාර්තාවෙයි.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසුව ජනපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති විශේෂ හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආරාධනාව සිදුකර ඇති අතර ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී මෙරට සංචාරයක් සදහා එක්වෙ​නු ඇතැයි, ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ඉන්දීය ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.කේ ජයශංකර් ස​හ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ​වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කරන කර්මාන්ත කලාපය ගැන පැවති සාකච්ඡාවේදී ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කරන බව සඳහන් කර ඇති ජයෂංකර් මහතා ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කරන බවද සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කරනු ලැබූයේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය ,අධ්‍යාපනය සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි බලතල නව ආර්ථික පරිවර්තනීය පනතින් පළාත් සභාවලට ඇතුළත් වන බවය.

එසේම සත්‍ය හා ප්‍රතිසන්ධාන පනත ලබන ජුලි මාසය වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයෂංකර් මහතා හමුවේ පවසා තිබේ.

කෘෂිකර්ම නවීකරණය ගැන පැවැති ද්වීපාර්ශවික සාකච්ඡාවෙන් පසු දෙරටෙහි ධීවරයන් අතර පවතින ගැටලු විසඳාගැනීම සම්බන්ධයෙන්ද ඉක්මනින් සාකච්ඡා කොට විසඳුමකට පැමිණිය යුතු බවටද එකඟතාවයකට එළැඹ තිබුණි.

වතු ලයින් කාමර වතු ගම්මාන වශයෙන් ගැසට්මගින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාළ ගම්මාන දියුණුවට පත්කිරීමට හැකියාව ලැබෙන්නේ යැයිද සඳහන් කළේය.

යළිත් වරක් අමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජයෂංකර් මහතාට සුභ පැතුම් පළ කර ඇත.