2024 වසරේ ගතවූ මාස 4 ක කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්  ලැබී තිබේ.

පැමිණිලි කාර්යාංශය වෙත ලැබී ඇති පැමිණිලි අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීම, වලංගු රැකියා ඇණවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමුකිරීම ආදිය ඇතුළත් වේ.

මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතුරින් පැමිණිලි 495ක් සඳහා විසඳුම් මෙම කාලසීමාව තුළදී ලබාදී ඇති අතර, පැමිණිලිකරුවන්ට රු. 53,509,520.00ක මුදලක් යළි අයකරදීමටද විමර්ශන නිලධාරීන් සමත්වී තිබෙන අතර තවත් පැමිණිලි 680කට අධික ප්‍රමාණයක් සඳහා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද කාර්යාංශය පියවර ගෙන තිබේ.

මෙම කාලය තුළ විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

එමෙන්ම කාර්යාංශයේ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය හා වලංගු රැකියා ඇණවුමක් ලබානොගෙන විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකළ ආයතන 8ක් ද වැටලීම් කර තිබුණි.

ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල පවතින බවත්, ඒ හා සමගාමීව විදේශ රැකියා වංචාවන්ද ඉහළ ගොස් ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් විදේශ රැකියා ජාවාරම් සම්බන්ධ වැටලීම් පුළුල් කර ඇති අතර, ජනතාවගේ පහසුව සඳහා විමර්ශන අංශයේ රාජකාරි විමධ්‍යගත කිරීමටද පියවර ගන්නා ලදී.

කාර්යාංශයේ බදුල්ල, තංගල්ල, මහනුවර, කුරුණෑගල හා රත්නපුර යන විගමණික සම්පත් මධ්‍යස්ථාන මගින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි විභාග කරනු ලබන අතර, සියළුම ප්‍රාදේශීය කාර්යාල මගින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි භාරගනු ලබයි.

එසේම කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානය 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීම මගින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි සිදුකළ හැකි අතර, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකථන අංකය වන 0112864118 ඇමතීම මගින් නීතිවිරෝධි විදේශ රැකියා ආයතන හා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකිය.