ඉන්දියාවේ රාම් කෝවිල නැරඹීමට ගිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම කෝවිල ඉදිකිරීම සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ප්‍රසාදය පළකළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම ස්ථානය නැරඹීමට ලැබීම විශිෂ්ට අත්දැකීමක් බවයි.

අයෝධ්‍යා රාම් කෝවිලට සිකුරාදා දිනයේ පැමිණ තිබූ නාමල් රාජපක්ෂ එම සිද්ධස්ථානය නැරඹීමට ලැබීම තමාට ගෞරවයක් සහ ආශීර්වාදයක් යැයි හැඟෙන බවද ප්‍රකාශ කර ඇත.

ඉන්දීය ANI පුවත්සේවය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ “අයෝධ්‍යාවේදී රාම් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම මහත් හැඟීමක්. මම හිතන්නේ එය ඉතා අලංකාර ලෙස ඉදිකර තිබෙනවා, අගමැති මෝදි සහ ඉන්දීය රජය පැරණි කීර්තිය නැවත ගෙන ඒම සහ ඉතිහාසය නැවත අලුත් කිරීම ගැන අපි සතුටු වනවා” යනුවෙනි.

සෑම කෙනෙකුම රාම් කෝවිලට පැමිණිය යුත්තේ ආශිර්වාද ලබාගැනීමට පමණක් නොව වාස්තු විද්‍යාත්මක අසිරිය දැකබලා ගැනීමට බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

“මම හිතන්නේ එය ඓතිහාසික විහාරස්ථානයක්. වත්මන් රජය, අගමැති මෝදි සහ ඔහුගේ පරිපාලනයට ස්තූතිවන්ත වෙන්න එහි පැරණි තේජස නැවත ලබා ඇති බව දැකීම සතුටක්. එය සෑම කෙනෙකුම පැමිණ අත්විඳිය යුතු දෙයක් කියලා මම හිතනවා. රාම් කෝවිලෙන් ආශිර්වාද ලබනවා පමණක් නෙවෙයි මේ අත්දැකීම ලබා ගන්න වගේම කෝවිලේ කැටයම් කර ඇති වාස්තුවිද්‍යාත්මක අසිරිය දැකබලා ගන්න පුළුවන් ” යැයි රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

මන්ත්‍රීවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සංස්කෘතික හා ආගමික බැඳීම අගය කළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

“අපගේ ජාතීන් දෙක අතර ශක්තිමත් සංස්කෘතික හා ආගමික බැඳීමක් පවතිනවා. එය පරම්පරා ගණනාවක් පවතිනු ඇති. ශ්‍රී ලංකාවේ බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් මෙන්ම ඉන්දියාවේ හින්දු බැතිමතුන් සහ බෞද්ධයන් අපගේ සංස්කෘතීන් තුළ බොහෝ සමානකම් සොයා ගනු ඇති බව මට විශ්වාසයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

රාම් දෙවියන්ගේ ‘ප්‍රාන් ප්‍රතිෂ්ඨා’ උත්සවය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් සිදු කරන ලද ප්‍රධාන චාරිත්‍ර සමඟින් ජනවාරි 22 වැනි දින දහවල් 12:29ට පැවැත්විණි.

එහිදී ප්‍රභූ ශ්‍රී රාම් ලල්ලාගේ ප්‍රතිමාව චාරිත්‍රානුකූලව ලොව පුරා බැතිමතුන්ට නිරාවරණය කරන ලදී.