ජාත්‍යන්තර අපරාධ අධිකරණය (අයි සී සී), ඊශ්‍රායල හමුදා සහ දේශපාලන නායකයින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ නිවේදන නිකුත් කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් කලබලයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඔවුන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කෙරෙතැයි අපේක්ෂා කරන අතර පළවන වාර්තා අනුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද අයි සී සී ලැයිස්තුවේ සිටියි.

හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් “අල්ලා ගත් ප්‍රදේශවල” පසුගිය වසර තුන පුරා ඊශ්‍රායල හමුදා විසින් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් ඇති බව සඳහන් ය.

ඉතා දරුණු අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය යටතේ පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොනු කිරීමටත් ඔවුන්ට එරෙහිව නඩු ඇසීමටත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බලය ඇති අත​ර මීට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි, සහ උගන්ඩා හමුදා නායකයෙක් වන ජෝසෆ් කෝනි ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.

බෙන්ජමින් නෙතන්යාහු මෙම සැලසුම සම්බන්ධයෙන්  පවසා ඇත්තේ මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ තම රට ආරක්ෂාකර ගැනීමට දරන උත්සාහය අඩපණ කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය සැලසුම් කරන බවයි.