පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අදාළ මාර්ගෝපදේශ මාලාව යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ද පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත .

මෙහිදි අධික උෂ්ණත්යන් සහිත කාලගුණික තත්ත්වයන් පවතින අවස්ථාවල දී අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී තිබේ .

දහඩිය දැමීම හේතුවෙන් විජලන සහ ලවන ඉවත් වීම හේතුවෙන් ඇති වන මස් පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඉහළ යාම මෙහි බරපතළ තත්ත්වයක් බවත් මෙවැනි අවස්ථාවල දී සිදුකළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය පාසල් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකිය යුතු අතර සිසුන් විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බව ද දැනුම් දී ඇත.

වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩාත් සුදුසු බව ද එම නිවේදනයේ දැක්වේ.

අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගත යුතු අතර අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් නැවැත්විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

මීට අමතරව මෙවැනි අවස්ථාවන්වල දී පහසුකම් සැලසීම යටතේ සහ සිසුන්ගේ පුද්ගලික පෙර සූදානම යටතේ ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ නිකුත් කර තිබේ.