උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තාවකාලිකව ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, පුත්තලම උඩප්පුව ප්‍රදේශයේදී ගම්වාසීන් පිරිසකට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙනයි.

පෙරේදා රාත්‍රියේ සිදුව තිබූ මෙම පහරදීමත් සමග හටගත් නොසන්සුන්තාව පාලනය කිරීමට මුන්දලම පොලීසිය කැඳවීමටද පියවර ගැනුණා.

පුත්තලම උඩප්පුව ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රි 9.30ට පමණ ගැටුමක් හටගෙන තිබුණේ උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ සහ ප්‍රදේශවාසින් පිරිසක් අතරයි.

පහරදීම සිදුකරන අවස්ථාවේ නිලධාරියා ඉතා අශෝභන ලෙස හැසිරෙමින් රැස්ව සිටි ජනතාවට පරුෂ වචනයෙන් බැණවදින අයුරු පුද්ගලයෙකු වීඩියෝගත කර තිබුණා.

උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පහරදීම සිදුකරන්නේ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු සමග ඔහු පැමිණි මෝටර් රථයට ප්‍රදේශවාසීන් කෙළ ගැසූ බව පවසමින්.

පහරදීමෙන් තුවාලලැබූ ප්‍රදේශවාසින් දෙදෙනෙකු උඩප්පුව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු හලාවත මහ රෝහලට මාරුකර යැවුණා.

සිද්ධියෙන් පසු තමාටද තුවාල සිදුවූ බව පවසමින් පොලිස් නිලධාරියාද උඩප්පුව රෝහලට ඇතුලත් වී තිබුණා.

අනතුරුව ඊයේ උදෑසන ඔහු රෝහලේදීම අත්අඩංගුවට ගැණුනු අතර ඔහුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පියවර ගනු ලැබුවා.

එමෙන්ම මෝටර් රථයේ සිටි සිවිල් පුද්ගලයින් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ පහරදෙන අවස්ථාවේ උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා බීමත්ව සිටියේද යන්න තහවුරු කර ගැනීමට රුධිර සාම්පල් ලබාගෙන ඇති බවයි.

එමෙන්ම කල්පිටිය පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ස්ථානාධිපතිවරයාව ලබන 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.