ඇමරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (10) පැවැත් වූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
ජනාධිපතිවරයා මුණගැසී මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා තිබුණි.
ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ මෙම කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කර ඇත.
අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
එසේම ඇමරිකානු රජය සමග සාකච්ඡා කිරීමට අදාළ යෝජනා සකස් කිරීම පිළිබඳවත්, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳවත් පුළුල් ලෙස මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.
පක්ෂ නායකයන් සමග පැවැත්වූ මෙම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කරගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කර තිබේ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා, ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් එස්. රාසමාණික්කම්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් රවී කරුණානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩී.වී. චානක, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරමින් මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් මෙහිදී අදහස් දක්වා ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් රිෂාඩ් බදුර්දීන්, සර්වජන බලය පක්ෂය නියෝජනය කරමින් දිලිත් ජයවීර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, ස්වාධීන කණ්ඩායම් 17 නියෝජනය කරමින් සහභාගි වූ ඒ. අර්චුනාද අදහස් දක්වා තිබේ.
මෙම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, කාවින්ද ජයවර්ධන, එස්.එම් මරික්කාර්, කාදර් මස්තාන්ද එක්ව සිටියහ.


