මාස ගණනක වාග් හුවමාරුවකින් පසුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අවසානයේ රුවන්ඩා පනත සම්මත කර තිබෙනවා.

ඒ අනුව රුවන්ඩාව ආරක්ෂිත රටක් බවත් සරණාගතයින් එහි යැවීමට ගැටලුවක් නැති බවට අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට නීතියෙන් අවසර හිමි වනවා.

පනත් කෙටුම්පතට ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර අගමැති රිෂි සුනක් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අනවසර සරණාගතයින් බ්‍රිතාන්‍යයට ඇතුලුවීම වැලැක්වීමට තමන් හැකි සෑම උපක්‍රමයක්ම භාවිතා කරන බවයි.

පනත සම්මත කිරීමට ප්‍රතිචාර දක්වමින් ස්වදේශ ලේකම් ජේම්ස් විස්තර කළේ එය අනවසර සංක්‍රමණිකයන් නැවැත්වීමේ රජයේ සැලැස්මේ සන්ධිස්ථානයක් ලෙස යි.

කෙසේ වෙතත් මෙම නව නීතියට පාර්ලිමෙන්තුව තුළ සිටින විපක්ෂ මන්ත්‍රීවරු, ප්‍රචාරක කණ්ඩායම් සහ පුණ්‍යායතන මෙම ප්‍රතිපත්තිය විවේචනය කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ මේ මගින් සරණාගතයින් අනාරක්ෂිත අනාගතයක අවදානමට ලක් කරන අතරතුර ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය කුණු කූඩයට දමන බවටයි.

කෙටුම්පත සම්මත වීමත් සමග ඉදිරි සති 10 සිට 12 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍ය තුළ මේ වන විට රැඳී සිටින සරනාගතයින් රැගෙන රුවන්ඩාවට යන පළමු ගුවන් ගමන ගුවන් ගත වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව බ්‍රිතාන‍ය අගමැති රිෂී සුනක් පවසා තිබෙනවා.