හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ආරක්ෂාව සමබන්ධයෙන් මූල්‍යමය කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීමෙන් රජය වැළකී සිටිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.
පසුගියදා රජය විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක විධිවිධාන සංශෝධනය කරනු ලැබුවේ ඔවුන්ගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් ඉවත් කරමිනි.
නීතිඥ මනෝජ් ගමගේ පවසන්නේ රාජපක්ෂගේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් රජය ගන්නා තීරණ සතියක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්කරන බවයි.
“හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ආරක්ෂාව කියන්නේ දෙකක්. වාහන, විශ්‍රාම වැටුප වැනි වරප්‍රසාද අඩු කළාට ප්‍රශ්නයක් නැහැ. ඒත් ආරක්ෂාව කියන්නේ වරප්‍රසාදයක් නෙවෙයි. එය කෙනෙකුගේ ජීවිතය ගැන ප්‍රශ්නයක්. ඇතැම් රටවල් ඇතැම් පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා බිලියන ගණන් හා ට්‍රිලියන ගණන් වියදම් කරනවා. ආරක්ෂක තීරණ සෑම විටම පදනම් විය යුත්තේ තර්ජන මට්ටම් මත මිස මූල්‍යමය කරුණු සළකා බැලීම් මත නෙවෙයි.” යනුවෙන් ඔහු පවසයි.
ඊට අදාළ නීතිමය කටයුතු ආරම්භ කිරීමේ දී රාජපක්ෂගේ ආරක්ෂාව අනතුරේ පවතින බව ඔප්පු කිරීමට සියලු සාක්ෂි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බවත්, හිටපු ජනාධිපතිවරුන් ආරක්ෂාව ප්‍රතික්ෂේප කළත් ඔවුන්ට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක් බවත් එහිදී ඔහු සඳහන් කර සිටියි.
එහිදී අදහස් දැක්වු මනෝජ් ගමගේ කියා සිටියේ,
“රාජපක්ෂ සිවිල් යුද්ධය අවසන් කළ ජනාධිපතිවරයා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවා ගත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ඇසක් අහිමි වුණා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් යුද්ධයේදී තීන්දු තීරණ ගත් නායකයකු ලෙස ඔහුගේ භූමිකාව ගැන තර්ක කළ හැකියි. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විශ්‍රාම යන විට ඔහුටත් ප්‍රමාණවත් ආරක්ෂාවක් තිබිය යුතුයි. සංවිධානාත්මක අපරාධවලට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට පවා රිමාන්ඩ් භාරයේ සිටින විට ආරක්ෂාව ලබාදෙන බව අපි කවුරුත් දන්නවා. එසේ නම්, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද ?”
නීතිඥ මනෝජ් ගමගේ පසුගියදා චෝදනා කළේ අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී එම වාර්තාවල කරුණු වසන් කරමින් මහජන ආරක්ෂක ඇමැතිවරයා සහ වර්තමාන ආණ්ඩුව හමුදා ආරක්ෂාව ඉවත්කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අනතුරේ හෙළීමට කටයුතු කර ඇති බවයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල කියා සිටියේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට අනුයුක්ත කර තිබූ සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉවත්කර ගැනීමට රජය තීරණය කර ඇති බවත්, මෙම තීරණය පසුගිය සතිය මුලදී ක්‍රියාත්මක වූ බවත්ය.
එහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සිටින්නේ නිශ්චිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් පමණක් වන අතර මින් ඉදිරියට ද්විවාර්ෂික තර්ජන තක්සේරු කිරීම් මත පදනම්ව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක විධිවිධාන සකස් කිරීමට නියමිතව ඇත. එමෙන්ම මෙම වෙනස්කම් සිදු කිරීමෙන් වාර්ෂිකව රුපියල් මිලියන 1,200ක් පමණ ඉතිරි කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.