ස්වාභාවික විපතක් හෝ වෙනත් කෘමි හානි වැනි වසංගත තත්ත්වයක් වාර්තා  නොවුවහොත් මෙවර යල කන්නයේ දී ද ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන බවත්,  එමනිසා මෙම වසර තුළ කිසිසේත්ම පිටරටින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත්  කෘෂිකර්ම ඇමති  මහින්ද අමරවීර පවසා ඇත.

මෙවර යල කන්නයේ දී මෙරට වී වගා කිරීමට අපේක්ෂිත ඉළක්කය කුඹුරු හෙක්ටයාර් 602,247ක් බව ද ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

යල කන්නයේ වී වගාවට අවශ්‍ය කෘෂි යෙදවුම් සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දි ඔහු මෙසේ පවසා ඇත.

මෙතෙක් වසර දහයකට පසු යල කන්නයක දී වී වගා කරන ලද වැඩිම කුඹුරු ඉඩම් ප්‍රමාණය 2022 යල කන්නයේ දී වාර්තා විය.එය හෙක්ටයාර් 512,000කි. නමුත් 2023 යල කන්නයේ දී වගා කිරීමට අපේක්ෂිත ඉඩම් ප්‍රමාණය සළකා බලන විට බොහෝ විට මෙතෙක් අප රටේ වී වගා කළ කුඹුරු ඉඩම් ප්‍රමාණය මෙවර යල කන්නයේ දී වාර්තා වීමට ඉඩ ඇතැයි හෙතෙම  සඳහන් කර තිබේ.

යුරියා, මඩපොහොර හා බන්ඩි පොහොර ඇතුළු සියලු පොහොර වර්ග ගොවීන්ට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කටයුතු යොදා ඇති බැවින් මෙවර සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට ද හැකි වනු ඇත.

වී වගාව සඳහා අවශ්‍ය මුලික පොහොර වන TSP හෙවත් මඩ පොහොර මේ වනවිට සියලුම ගොවීන්ට නොමිලයේ බෙදා දී අවසන් කර ඇත.

එමෙන්ම මේ වනවිට පුද්ගලික අංශය මගින් ද අවම මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීමට කටයුතු කිරීම නිසා රජය මගින් ලබා දෙන පොහොර පමණක් නොව ගොවි ජනතාවට පුද්ගලික අංශයෙන් ද තමන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

තව ද මෙවර යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට සහනාධාර මුදලක් වශයෙන් හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් බැගින් හෙක්ටයාර් දෙකකට රුපියල්  40,000ක මුදලක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම මුදල්  ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සියලු ගොවි ගිණුම්වලට බැර කිරීම සිදු කරනු ලබයි.

නිර්මාණි ගුණරත්න