ශ්‍රී ලංකාව බංකොලොත් ද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයාට නොහැකි බවත් එය ප්‍රකාශ කළ යුත්තේ ජාත්‍යන්තර ණය ශ්‍රේණි ගත කිරීමේ ආයතන බවත් රට බංකොලොත් නොමැති බව කියමින් නාට්‍ය රඟදැක්වීමෙන් ඵලක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසයි.

අද (24) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ,

‘‘රට බංකොලොත්භාවයෙන් මුදවාගත්තා කියලා ජනාධිපතිවරයා අනිද්දා විශේෂ ප්‍රකාශයක් කරන්න සූදානම් වෙනවා. මේ ආකාරයටම ජනාධිපතිවරයා පසුගිය අවුරුද්දේ මාර්තු 21 වැනිදා ජාතිය අමතලා ප්‍රකාශයක් සිදුකළා රට බංකොලොත්භාවයෙන් මුදවා ගත්තා රට සාමන්‍ය තත්ත්වයට පත් වෙලා තිබෙනවා කියලා. පසුගිය අවුරුද්දේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගත්තා කියලා ජනාධිපතිවරයා ජාතිය අමතලා , පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරලා වැට් බද්ද වැඩි කළා , උපයන විට ගෙවන බද්ද වැඩි කළා , අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කළා , විදුලිබිල වැඩිකළා , ජල බිල වැඩිකළා , ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයට පත්කළා.

රට බංකොලොත්භාවයෙන් මුදවා ගත්තා කියලා කියමින් ගෙවල් වලට අය කරන්න සුදානම් වන බද්ද අය කරනවා කියලා කියන්නද ජනාධිපතියරයා උත්සහ කරන්නේ කියන සැකය මතුවෙනවා. රට බංකොලොත්භාවයෙන් මිදිලද නැද්ද කියලා කියන්න ජනාධිපතිවරයාට , පාර්ලිමේන්තුවට බෑ. ඒ බව සඳහන් කළ යුත්තේ ණය ශ්‍රේණි ගත කිරීමේ ආයතන. ණය ශ්‍රේණි ගත කිරීමේ ආයතන සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව තවම සිටින්නේ select to default or default කියන තත්ත්වයේ. රට බංකොලොත් නෑ කියලා අපිම කියාගෙන බොරුවට රඟපාලා වැඩක් නෑ. රට බංකොලොත්භාවයෙන් මිදිලා නම් ජනතාව විඳින පීඩාව , දෙමාපියන්ට දරුවන් පාසල් වලට යෑමට තිබෙන අපහසුතාවය , විශ්‍රාමිකයන්ට ජීවත්වීමට තිබෙන අපහසුතාවය යන කරුණු සියල්ල යහපත් තත්ත්වයට සිදුවිය යුතුයි.

ලබන මාසයේ 17 වැනිදාට ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසන් සභාවට බලය ලැබෙනවා. ඒ වගේම මෙතෙක් සිදුකළ සමීක්ෂණ වලින් අවසානයට සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. ඒ වගේම ජනාධිපතිවරයා නාට්‍යයක් රඟ දක්වලා මැතිවරණයකදී ඡන්දයක් ලබාදීමට තීරණයක් නොගත් ඡන්ද දායකයන් කොටස තමන්ගේ පැත්තට හරහා ගන්න උත්සහ කරනවා. එහෙම කරලා සමීක්ෂණ වර්තාවලින් දෙවැනි තැනට ආවොත් විතරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉල්ල අවස්ථාවේදී නයි නටවලා සිදුකළ නාට්‍යයේ ඊළග කොටස තමයි මෙවර ජනාධිපතිවරණයේදී රගදක්වන්න කටයුතු කරන්නේ..” බවයි.