2023 මැයි 05 දින ලොව පුරා තිරගත කිරීම් ආරම්භ කළ The Kerala Story බොලිවුඩ් චිත්‍රපටය මේ වන විට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගත වනවා. 2023 වසරේ අඩුම දින ගණනක් තුළ ඉන්දීය බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවා ගිය චිත්‍රපට ලැයිසිතුවේ දෙවන ස්ථානය සනිටුහන් කළේ එම කඩඉම පසු කිරීමට දින 9ක් පමණක් වැය කරමින්.

ඉන්දියානු රුපියල් කෝටි 25-30 පමණ වන අඩු නිෂ්පාදන පිරිවැයකින් නිෂ්පාදනය කළ මෙහි බොලිවුඩයේ නම් දැරූ කිසිඳු සුපිරි තරුවක් රංගනයේ නොයෙදීමත් විශේෂත්වයක්.

කේරළයේ කාන්තාවන් පිරිසක් ඉස්ලාම් ආගමට හරවාගෙන ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයට (ISIS) සම්බන්ධ කරවීමේ ක්‍රමන්ත්‍රණයක් සහිත කතා සාරාංශයක් රැගත් The Kerala Story චිත්‍රපටයේ ටීසරය අන්තර්ජාලය වෙත මුදාහැරීමත් සමඟ විවිධ ආගමික සංවිධාන, සිවිල් සංවිධාන සහ දේශපාලන කණ්ඩායම් චිත්‍රපටය තහනම් කළ යුතු බව ප්‍රකාශ කරමින් විරෝධතා දැක්වූවා.

 

විශේෂයෙන් දකුණු ඉන්දියාව සහ කේරළ ප්‍රාන්තය තුළ මෙම තත්වය ඉතා දරුණු ලෙස පැවති අතර, ආගමික සහජීවනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ලෙස හුවා දක්වමින් දේශපාලන පක්ෂ විසින් විරෝධතා ද සංවිධානය කර තිබුණා. එමෙන්ම ඉස්ලාම් ආගමික සංවිධානවල දරුණු විවේචනයටද ලක් වීමට සිදු වුණා. චිත්‍රපටය තිරගත කිරීම අත්හිටුවීම සඳහා කේරළ මහාධිකරණය වෙත පෙත්සමක්ද ඉදිරිපත් කර තිබූ අතර, එය ප්‍රාන්ත මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ නිෂ්පාදකයින් විසින් යූ ටියුබ් වෙත මුදාහැර තිබූ ටීසරය ඉවත් කර ගැනීමෙන් අනතුරුවයි.

කෙසේ නමුත්, බටහිර බෙංගාලය තුළ චිත්‍රපටය ප්‍රදර්ශනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබූ අතර, තමිල්නාඩු ප්‍රාන්තයේ මල්ටිප්ලෙක්ස් චිත්‍රපට හිමියන්ගේ සංගමය ද චිත්‍රපටය තිරගත කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මෙවැනි අර්බුද රාශියක් හමුවේ ප්‍රධාන ධාරාවේ සිනමා විචාරකයන්ගේද යහපත් විචාරද චිත්‍රපටයට හිමි නොවූ පසුබිමක චිත්‍රපටය ලබා ඇති සාර්ථකත්වය විශ්වාස කළ නොහැකි බවයි ඇතැම් විචාරකයින් පවසන්නේ.
කෙසේ වෙතත් කේරළ කතාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ(BJP) උපරිම සහාය හිමි වූයේ ඉස්ලාම් ආගමික සංවිධාන සහ විරුද්ධ දේශපාලන පක්ෂ තව තවත් කෝප ගන්වමින්.

එම පක්ෂය විසින් පාලනය කරන උත්තර් ප්‍රදේශ් සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත දෙක තුළ චිත්‍රපටය බදු වලින් නිදහස් කිරීමට පවා පියවර ගෙන තිබූ අතර, ඉන් නොනැවතුණු ඔවුන් කර්ණාකටක ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයක් ලෙස The Kerala Story ටිකට්පත් නොමිලයේ බෙදා දීමට පවා කටයුතු කර තිබුණා.

කුමන ආකාරයේ විරෝධතාවන් හමුවේ වුවත්, සිනමාහල් තුළට ප්‍රේක්ෂකයන් ඇද බැඳ ගැනිමට සමත් වී ඇති මෙම අපූරු චිත්‍රපටය සුදීප්තෝ සෙන් ගේ අධ්‍යක්ෂණයක් වන අතර, සන්ෂයින් පික්චර්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කර ඇත්තේ විපුල් අමරුත් ලාල් ශාහ් විසින්. ආධා ශර්මා, යෝගිතා බිහානි, සෝනියා බාලානි සහ සිද්ධි ඉද්නානි යන රංගන ශිල්පිනියන් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන The Kerala Story චිත්‍රපටය IMDB දර්ශකයේ සටහන් කර ඇති අගය 7.8ක් වනවා.

The Kerala Story Day 9 Box Office India: Adah Sharma led drama sees best  theatrical day; Crosses Rs 100 crores | PINKVILLA

 

උමේෂ් ද සිල්වා