ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් එහි සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත්කිරීම බලශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති නඩුව පිළිබඳව කරුණු සලකා බැලීමට අවසර දුන් කොළඹ දිසා අධිකරණය එම නඩුකරයෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමටද අවසර ලබා දී ඇ​ත.

විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම කරුණට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් දැනටමත් නිකුත් කර ඇති නිසා මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට ඊයේ (14)  විරෝධතා මතුකර තිබිණි.

එම අවස්ථාවේදී පෙත්සම්කාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙන්වාදී තිබුණේ කඩුවෙල දිසා අධිකරණයේ නියෝගය මෙම අධිකරණයට බල නොපාන බවය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා කඩුවෙල දිසා අධිකරණයේ නියෝගයටවලට අගති රහිතව මෙම නඩුවේ පැමිණිලිකරු විසින් ඉල්ලා සිටින වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට තීරණය කරන බව පැවසීය.

ඒ අනුව අදාළ වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු දැක්වීම් අද (15) දහවල් 1ට සිදුකිරීමට නියමිතය.