අද (14) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීමට වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිල්ලිකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටියේ නැති අතර ඒ අනුව අදාළ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් නොවන නිසා එය දීර්ඝ නොකරන බවත් විනිසුරුවරිය සඳහන් කළේය.

එහිදී අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින විජයදාස රාජපක්ෂ සහ සරත් ඒකනායක යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් උත්තර හා විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් ඉන් අනතුරුව නඩුව යළි කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තමන් වෙනත් නඩු විභාගයකට සහභාගි වී සිටි හෙයින් මෙම නඩුව සඳහා පෙනී සිටීමට නොහැකි වූ බවත් ඒ අනුව නඩුවට අදාළ වාරණ නියෝගය දීර්ඝ ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය නඩුවට අදාළ උත්තර හා විරෝධතා ගොනුකිරීමට ජූලි මස 18 වනදා දක්වා කල් දුන් අතර වාරණ නියෝගය ජූනි මස 28 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමටත් නියෝග කළේය.