මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ පෙර පුහුණු තරඟයක් ලෙස, ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවතී තරඟයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කරගැනීමට වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 163ක් ලබාගැනීමට සමත්කම් දැක්විය.

පලමු පුහුණු තරඟයේදී මෙන්ම මෙම තරඟයේදීත් ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වූ නමු​ත්, අවසානය තෙක් කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඡේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 30කදී නොදැවී ලකුණු 32ක් ලබාගැනීමට සමත්වු අත​ර ඔහුගේ ඉනිමට හතරේ පහරක් හා හයේ පහර 2ක් ඇතුලත් විය. ඊට අමතරව නායක වනිඳු හසරංග පන්දු 21කදී ලකුණු 26ක් හා දසුන් ශානක පන්දු 15කදී ලකුණු 23ක් ද රැස් කලේය.

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසී අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18.2ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 122ක් පමණි.

පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට දසුන් ශානක සමත්වූ අතර, ඔහු පන්දුවාර 3.2ක් අවසානයේදී ලකුණු 23කට කඩුලු 4ක් බිඳ දැමීය. ඊට අමතරව මහීශ් තීක්ශනද සිය පන්දුවාර 4 අවසානයේදී ලකුණු 14කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. නායක වනිඳු හසරංග ලකුණු 40කට කඩුලු 2ක් හා දුශ්මන්ත චමීර, මතීෂ පතිරණ ද එක් කඩුල්ල බැඟින් බිඳ දැමීමට සමත්විය.