මතභේදාත්මක ප්‍රකාශ හේතුවෙන් සමඟි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයන් දෙපළ අතර විවාදය පැවැත්වීම තවමත් අවිනිශ්චිත තත්ත්වයක ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විවාදය සම්බන්ධයෙන් පක්ෂ දෙකේ නායකයන් විවිධ මත පළ කිරීම එම අවිනිශ්චිතතාව මතු වීමට ප්‍රධාන හේතුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සමඟි ජන බලවේගය යෝජනා කළ දින වලින් ආර්ථික කමිටු විවාදය පවත්වන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ලිපියක් යොමු කරමින් ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඉන් පළමුව ආර්ථික කමිටු විවාදය පැවැත්වීමටත් දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමටත් යෝජනා කර තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ විවාද සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරයද කිසිදු වෙනසක් නොමැති බවයි. ඒ අනුව පළමුව නායකත්ව විවාදය පවත්වා ඉන් අනතුරුව ආර්ථික කමිටු විවාදය පැවැත්විය යුතු බව පක්ෂයේ ස්ථාවරය යැයි ඔහු පවසයි.

පක්ෂ දෙක විසින් වරින් වර විවිද හේතු ගෙන ඒම නිසා විවාදය පැවැත්වීම අවිනිශ්චිත බවත් නායකයන් දෙදෙනාම විවාදය කර අරින තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි