රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරු ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ක​ළා

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවත් තීන්දුවේ සඳහන් වු​ණ අතර  මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රුපියල් ලක්ෂ 10 වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියෝග කෙරුණි.

මේ අතර, අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන ලෙසත් මෛත්‍රිපාල සිරිසේන මහතාට තවත් නියෝගයක් නිකුත් ක​ළා.

මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාවිතව උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතරම මේ වන විට විදේශගතව සිටින අදාළ විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා නියම කළේය.

කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් එම විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙස මෙ​ම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණා.

ඒ අනු​ව එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළහ.