2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

2024 වර්ෂය වෙනුවෙන් සම්මත කරන ලද අයවැය වාර්තාව මගින්, 2024 දෙසැම්බර් මස 31 වනදා දක්වා පමණක් ආදායම් වියදම් සිදු කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව 2025 වර්ෂය සඳහා වෙනම අයවැය ලේඛනයකින් අනුමැතිය ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත්, මේ වසරේ ජනාධිපතිවරණයක් පැවත්වීමට නියමිත බැවින් එහිදී එක් එක් අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉතා වැදගත් බවත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශ ක්‍රියාත්මක කිරීමට වැදගත්ම ලේඛනය වූ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉඩක් තබා 2025 මුල් කාර්තුව වෙනුවෙන් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

එසේම අතුරු සම්මත ගිණුම මගින් කිසිදු නව යෝජනාවක් ගෙන එන්නේ නැති බවත්, ඒ තුළින් මේ දක්වා සිදු කළ රාජ්‍ය සේවක වැටුප ගෙවීම, අස්වැසුම ඇතුළු අනිකුත් වියදම් සිදු කිරීමට පමණක්ම අවසර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.