මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංගයක් ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. අද (17) පාර්ලිමේන්තුවේදී තේරී පත්වුණු නව කථානායකවරයාට සුබ පතමින් ඔහු මේ බව ප්‍රකාශ කලේය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ව්‍යවස්ථාදායක නියෝජනය කරන 225 ක් වූ මන්ත්‍රී මණ්ඩලයට තම මහජන සේවය ඉහළ ගුණාත්මක භාවයකින් ඉටු කිරීමට කථානායකවරයාගේ දායකත්වය අතිශයින්ම වැදගත් බවයි.
එහිදී අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා,
“ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස ව්‍යවස්ථාදායකය තුළින් වඩා පරිණත ප්රශස්ත සේවාවක් රටේ ජනතාවට සිදුකරන ගමනේදී ඔබ සතුව සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා. ව්‍යවස්ථාදායක නියෝජනය කරන 225 ක් වූ මන්ත්‍රී මණ්ඩලයට තම මහජන සේවය ඉහළ ගුණාත්මක භාවයකින් ප්රශස්ත මට්ටමකින් රටට ඉටු කිරීම සඳහා ඔබගේ දායකත්වය අතිශයින් බලපානවා. ”
“පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හැම මන්ත්‍රීවරයෙකුටම එක හා සමානව සලකමින් ඔවුන් හැම දෙනාම නියෝජනය කරන මතයට ඉඩකඩ ලබා දී ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන පුරුකක් බවට ඔබතුමා පත් වෙනවා”
” අපිට සිදුවුණා හිටපු කතානායකට විරුද්ධව විශ්වාස භංගයකට මුල පුරන්න. මේ පාර්ලිමේන්තු කාලය තුළදී එවැන්නක් යළි ක්‍රියාත්මක කරන්නට ඉඩ නොලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. අපට අවශ්‍ය ස්ථාවර රටක්. ශක්තිමත් රටක්”