අසභ්‍ය වීඩියෝ දර්ශන හා නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (08) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගිනි.

නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ යොමු කර ඒවා ප්‍රචාරය කරන බවට තර්ජනය කරමින් රුපියල් 222,000/= මුදලක් බලෙන් ලබාගැනීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුව කොළඹදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ ජනවාරි 08 වන දින වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලකට අනුවයි.

අත්අඩංගුවට ගත් එම සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර පසුගිය ජනවාරි 07 වන දින වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට තවත් පැමිණිල්ලක් ලැබී ඇති අතර එම පැමිණිල්ල අනුව සිදුකරන ලද විමර්ශනයේදී ඊයේ දහවල් කාලයේ කහතුඩුව ප්‍රදේශයේදී තවත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.