කටුනායක ගුවන් තොටුපොළ තුල අමාත්‍ය ප්‍රසන්න රණවීර පුද්ගලයෙකුගෙ කණට පහරක් එල්ල කරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය‍ය හරහා සංසරණය වේ.

ඇමති ප්‍රසන්න රණවීරගේ බිරිඳ ඇතුළු කිහිප දෙනකු විදෙස් සංචාරයකට යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පෙරේදා අලුයම් කාලයේ පැමිණ ඇති අතර එහිදී ඇමැතිවරයා ඔවුන් ඇරලවීම සඳහා සිය ආරක්ෂකයන් ද පිරිවරාගෙන පැමිණ ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට ගොස් ඇතැයි ගුවන් තොටුපළේ උසස් නිලධාරීහු පවසයි.

එහිදී ආරක්ෂකයන් ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා ඒවා රැගෙන යෑමට ඉඩදිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් අමාත්‍ය ප්‍රසන්න රණවීරට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේ ඔහු ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට බැනවැදී ඔහුගේ ගමන වැළැක්වූ බව කියන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ ඡායාරූප ද සිය ජංගම දුරකථනයෙන් ලබාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

තවද අමාත්‍යවරයා සමග පැමිණි අයගේ ගමන් මලු ගුවන් තොටුපොළට රැගෙන යෑම වෙනුවෙන් පෝටර්වරයාට අඩුවෙන් මුදල් ලබාදීම නිසා ඔහු නියමිත ගාස්තුව දේශපාලකයාගෙන් ඉල්ලා ඇති අතර එයින් කුපිත වූ අමාත්‍යවරයා එම පෝටර්වරයාගේ කකුල සපත්තුවෙන් පාගා ඔහුගේ කණට වැරෙන් පහරක් ගසා ආරක්ෂකයන් සමග පිටව ගොස් ඇත. පහරකෑමට ලක්වූ බව කියන පෝටර්වරයා ඇමතිවරයාට ඇති බිය නිසා සහ අනවශ්‍ය කරදර ඇති වේ යැයි සිතා මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නොමැති බව ගුවන් තොටුපොළෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේනමුත් ඒ පිලිබඳව අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ගෙ බිරිඳගේ භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් මුදල් ඉල්ලූ නිසා බවත්, ඔහු තමාව හඳුනාගත්තේ කණට ගැසූ පසුව බවත්ය.