නිදහස සිහිගන්වමින් ඉදිකෙරුණු නිදහස් අනුස්මරණ ශාලාව එසේත් නැත්නම් නිදහස් චතුරස්‍රය අද දිනයේ කාගේත් අවධානයට පාත්‍ර වූ ගොඩනැගිල්ලකි.1948 වර්ෂයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු එම නිදහස දිනාගැනීම නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ දීර්ඝ සහ ආකර්ෂණීය ඉතිහාසය සංකේතවත් කෙරෙන අනුස්මරණ ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීමට එවකට පැවති රජය තීරණය කර ඇත.
ඒ අනුව තුරඟ තරග සමාජයට අයත් වත්මන් නිදහස් චතුරස්‍රය ඉදිකර ඇති භූමි භාගය ඒ සඳහා තෝරා ගැණුනි. 1949 පෙබරවාරි 4 වැනි දින එනම් දෙවැනි නිදහස් සැමරුම් උළෙලේදී නිදහස් මන්දිරය සඳහා මුල්ගල තැබුණි.මෙය මහනුවර මඟුල් මඩුවේ ආකෘතියට සමාන, තේජවන්ත පෙනුමැති ගොඩනැඟිල්ලක් සැලසුම් කරන ලදී. මෙම කාර්යය සඳහා සැලසුම් සකසන ලද්දේ එවකට ඉතා ප්‍රසිද්ධියක් උසුලන ලද ගෘහ නිර්මාණ ශිල්පීන් 08 දෙනෙක් විසිනි. එම කණ්ඩායමට රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී ටී.එන්. විනේ ජෝන්ස් නායකත්වය සැපයූ අතර එහි සාමාජිකයන් වූයේ නියෝජ්‍ය ගෘහ නිර්මාණ ශිල්පී එෆ්. එච්. බිලිමෝරියා, විශ්වවිද්‍යාල ගෘහ නිර්මාණ ශිල්පී ෂර්ලි ද අල්විස්, කොළඹ නාගරික සැලසුම්කරු ඔලිවර් වීරසිංහ, සහකාර නිර්මාණ ශිල්පීන් වන එච්. ජේ. බිලිමෝරියා, ජේ. සමරසේකර සහ ඇම්. බී. මොරේනා යන අය වේ.
මෙහි වැඩ කටයුතු සිදුකරන අතරවාරයේ ඩී. එස්. සේනානායක මහතා අශ්වයෙකුගේ පිටින් ඇද වැටී මරණයට පත් විය. මේ නිසා ඉදිකිරීම් කටයුතු නතර වුණි.ඉදිකිරීම් නැවත ඇරඹීම සඳහා අවධානය යොමු කරන ලද්දේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙරට අගමැති වීමත් සමගය. එහි ඉතිරි වැඩ නිමකර1957 පෙබරවාරි 4 වැනි දින පැවත්වූ නිදහස් උළෙලේදී මෙය විවෘත කෙරිණි. එම නිදහස් උත්සවයට චීන අගමැති චෞ එන් ලායිද සහභාගී විය.
මේ ගොඩනැඟිල්ලේ ආසන 400කට අධික සංඛ්‍යාවක් පැනවීමේ හැකියාව සහ විවෘත භූමියේ 25000 ක් පමණ වූ ජනතාවට රැස්ව සිටීමේ ඉඩකඩ ද සහිතව ඉදිකර ඇත. සෘජුකෝණාස්‍ර හැඩයකින් යුක්ත නිදහස් මන්දිරයට පිවිසීමට දෙපසින් ප්‍රවේශ දෙකක් තිබේ.ගොඩනැඟිල්ලට අවතීර්ණවීමට කොරවක්ගල්වලින් යුක්ත පියගැට පේළි යුගලයක් තනා ඇත. මන්දිරය වටා ඇති සතර දිශාව වෙත නෙත් යොමු වූ සිංහ රූප තුළින් ශ්‍රී ලාංකික ජනයාගේ අභිමානය සංකේතවත් කරයි.
නිදහස් මන්දිරයේ ඇති කැටයම් කළු ගලෙන් නිමවා ඇති අතර විජයාවතරණයේ සිට ඇරඹි සිංහලයාගේ ඉතිහාසය විදහා දක්වන විවිධ සිද්ධීන් පිළිබඳ චිත්ර මෙහි ඇතුළත බිත්ති නිරූපණය කරයි. ජාතික අභිමානයේ නිදහස ලබා ගැනීම සඳහා දිවි හිමියෙන් කැපවූ වීරයන්ගේ ජීවමාන රූප එහි ප්රදර්ශනය කර ඇත. රට, ජාතිය වෙනුවෙන් හඬ නැඟූ ඒ අභීත රාජ්ය නායකයාණන් වන ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවද නිදහස් මන්දිරය ආසන්නයේම ඉදිකර ඇත්තේ, ලබා දුන් නිදහසට ගෞරව පුද කිරීමක් වශයෙනි.
නිදහස් අනුස්මරණ කෞතුකාගාරයද නිදහස් චතුරස්‍රයේ බිම් මහලේ පිහිටා ඇත.මෙය විවිධ රාජ්‍ය නායකයන්ගේද පැසසුමට ලක්වී ඇත. ජාතික ස්මාරකයක් වන නිදහස් මන්දිරය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙම ස්ථානයට දිනෙන් දින පැමිණෙයි.
දිනූක ගුණවර්ධන.