අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියමවී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (26) දින ලබාදුනි.

ඒ, කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම ඇතුළු කටයුතු ඉටු කරදීම පිළිබඳ සිද්ධියකට අදාළව ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළ බවට චෝදනා එල්ලවී ඇති සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම අභියාචනා පෙත්සම අද ඩී. එන්. සමරකෝන් මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම් විභාගය සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ අභියාචනා පෙත්සම අප්‍රේල් මස 30 වනදා සහ මැයි මස 03 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කෙරුණි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් රොහාන්ත අබේසූරිය මහතා කළ ඉල්ලීමක් පිළිගත්  විනිසුරු මඩුල්ල මෙම සිද්ධියට අදාළ මහාධිකරණ නඩූවේ සාක්ෂි ලෙස ගොනු කර තිබූ පොරොන්දු නෝට්ටු කිහිපයක් අධිකරණය හමුවේ කැදවීමට අවසර ලබා දුනි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීමට අදාළ කටයුතු ඉටු කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය  කිරිමේ සිද්ධියකට අදාළ චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට තීන්දු කර තිබුණි.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක්ද අධිකරණය විසින් නියම කරනු ලැබීය.

කොළඹ මහාධිකරණය විසින් තමාට එරෙහිව එම දඬුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.