මින් ඉදිරියට මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට සහ ආගමික කටයුතු හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා ගාලු මුවදොර පිටිය භාවිතයට අවසර නොදීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන 20 වැනිදා සිට ආගමික කටයුතු සඳහා හැර ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා එය භාවිත කිරීමට අවසර ලබා නොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම භූමිය පවත්වාගෙන යා යුතු නමුත් සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක්රැස් වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භූමිය නිතර හානිවන බවත්, එහෙයින් පරිශ්‍රයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වාගෙන යාමට අපහසු වී ඇති බවත් ඔහු කීය.

පසුගිය අරගල කාලසීමාව තුළදී එහි සිදුව ඇති දේපළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කර තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා භාරගෙන ඇති අතර, මේ දක්වා එහි සංවර්ධන කටයුතු සඳහා එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ වැය කර ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

නිර්මාණි ගුණරත්න