ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර, අද (01) ආරම්භ වෙයි. මාස දෙකකට නොඅඩු කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර එසැණින් ප්‍රතිඵල ද නිකුත් කෙරෙනු ඇත.

අවසන් අදියරේ දී ආසන 57 ක් වෙනුවෙන් මැතිවරණ පැවැත්වෙන අතර 6 වැනි අදියරේදී බිහාර්, බෙංගාලය, දිල්ලි, හර්යානා, ජර්කාන්ද්, උත්තර ප්‍රදේශ් සහ ජම්මු කාශ්මීරයේ එක් ආසනයක් වෙනුවෙන් ඡන්දය පැවැත්විය.

ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විත වන අතර, පසුගිය 19 වෙනි​දා මහ මැතිවරණය පැවැත්වුණේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි.

ඉන්දී​ය මහ මැතිවරණය මාස දෙකහමාරක් තිස්සේ අදියර 7 ක් යටතේ පැවැත්වේ.

පසුගිය අප්‍රේ​ල් 19 වැනිදා එහි පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත් පැවැත්වු අතර ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුකරනු ඇත. තව​ද මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 970 ක් ලියාපදිංචි වී සිටින බවද වාර්තා වේ.

මෙවර මහ මැතිවරණයේදී මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තනිවම ආසන 370 කට වැඩි ගණනක් දිනා ගැනීමට සූදානම් වන අතර, පොදුවේ භාරතීය ජනතා පක්ෂය ද ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය 400 කට වඩා වැඩි ආසන ගණනක් දිනාගැනීමට සමත් වනු ඇති බව ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කර ඇත.

මෝදි දෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2019 වසරේ පැවැති මහ මැතිවරණයේදීයි. එම මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 303ක් වන අතර, 1980 වසරේ දී හින්දු ජාතිකවාදී පක්ෂයක් ලෙස භාරතීය ජනතා පක්ෂය දේශපාලන කරළියට අවතීර්ණ වීමෙන් පසු මෙතරම් ඡන්ද සංඛ්‍යාවක් දිනූ පළමු අවස්ථාව එය වේ.