1974 වසරේ කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීමේ දී එවකට පැවති කොංග්‍රස් රජය ඉතා නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කර ඇති බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෝදනා කරන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ක්‍රියාවලියෙන් කොංග්‍රස් පක්ෂය ඉන්දියාවේ ඒකීයභාවය දුර්වල කර ඇති බවයි.

ඉන්දිරා ගාන්ධි රජය විසින් 1974 වසරේ දී කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් ලබාගත් කරුණු සැලකිල්ලට ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව ප්‍රකාශ කර ඇත.

නව තොරතුරු මගින් කොංග්‍රස් රජය ඉතා නොසැලකිලිමත් ලෙස කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවට කරුණු අනාවරණය වන බවයි සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ මෙය සෑම ඉන්දියානුවෙකුම කෝපයට පත් කරන සිදුවීමක් වන අතර මෙම තත්ත්වය තුළ කිසිදිනෙක කොංග්‍රස් පක්ෂය පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවයි.

කෙසේවෙතත්, ඉන්දීය මහ මැතිවරණය ආසන්නව ඇති පසුබිමක කච්චතිවු දූපත පිළිබඳ මාතෘකාව කරළියට පැමිණ ඇති බව දේශපාලන විචාරකයින් පවසයි.

මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සහ ඉන්දීය රජය විසින් එම ගැටලුවට නිශ්චිත විසඳුමක් ලබා නොදීමට එරෙහිව ලබන මස පැවැත්වෙන මැතිවරණය වර්ජනය කරන බවට තමිල්නාඩු ධීවර සංගම් මේ වනවිට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ පවත්වන ලද ධීවර නියෝජිතයින්ගේ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර ධීවරයින් සිරගත කිරීමට සහ ඔවුන්ගේ බෝට්ටු රාජසන්තක කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර හෙළා දකින අතරම ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා ධීවර ගම්මාන 11ක පවුල් මහ මැතිවරණය වර්ජනය කරන බව ඔවුන් පවසා ඇත.