සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර විතානාච්චි වෙඩි තබා මරා දමන්නට කලින් ඔහුගේ ජංගම දුරකතනයට කිසියම් විදේශ රටක සිට තර්ජනාත්මක ඇමතුම් ලැබී ඇත්දැයි සෙවීමට පොලිස් කණ්ඩායමක් ඊයේ සි​ට (පෙබ. 27) විමර්ශන ආරම්භ කොට ඇතැයි වාර්තා වේ.

එම ඇමතුම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත ලැබුණු දුරකතන කුලුණු ආශ්‍රිතව ද මෙම විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

එමෙන් ම, ඔහු මරා දමන්නට දින තුනකට පෙර සිට ඔහුට ලැබුණු සහ ඔහු ලබාගත් ඇමැතුම් පිළිබඳ සියුම් නිරීක්ෂණයක් සිදු කෙරෙන අතර එම ඇමතුම් හඳුනා ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ පාර්ශ්වය වෙත එම ඇමතුම් යොමු කිරීමට ද නියමිතය.

ඒ ඔස්සේ හෝ මෙම ඝාතනය සම්බන්ධයෙන් හෝඩුවාවක් ලබාගැනීමට පොලිසියේ අපේක්ෂාව වන අතර ඝාතකයන්ගේ ඉලක්කය වැරදීමකින් සිදුවී දැයි යන්න සැකයක් ඇතිව තිබෙන බව විමර්ශන නිලධාරීහු පවසති. තව​ද මෙම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා විසින් එක්තරා යූටියුබ් නාළිකාවකට කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම ප්‍රකාශ මෙම ඝාතනයට කිසියම් හේතුවක් වී දැයි සොයා බලන බවයි වාර්තා වන්නේ.

ඒ හැරෙන්නට මෙම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් හේතුවක් ඊයේ වනතුරුත් නිශ්චිත වශයෙන් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි වි ඇති අත​ර මොහුට කිසිවකුගෙන් හෝ පාතාල ක්‍රියාකාරීන්ගෙන් මරණ තර්ජනයක් එල්ල වී ඇත්දැයි අනාවරණය කර ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගේ ජංගම දුරකතනයට අදාළ විශ්ලේෂණ වාර්තාවක් ලබාගෙන ඇති අතර ඒ ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක​ය.

මේ අතර, සිද්ධිය වූ ස්ථානය අවට මාර්ගවල ස්ථාපිත CCTV කැමරා සෝදිසි කිරීම ඊයේ ද සිදුව ඇති අතර දැනට ලැබී ඇති එක් හෝඩුවාවකින් කියැවෙනුයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා වෙඩි තබා මරා දැමීමෙන් පසු තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදියෙන් ඌරගහ දෙසට පළා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, මොහු මරා දමා ඇත්තේ, කොන්ත්‍රාත්තුවක් මත වුව ද එතැනින් එහාට කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා කවුද හෝ තුවක්කුකරුවන් කවුද යන්න නිශ්චිත වශයෙන් ඊයේ වනතුරුත් තහවුරු වී නැ​ත.

ඇල්පිටිය කොට්ඨාස භාර වැඩ බලන සහකාර පොලිස් අධිකාරි රමිඳු ද සිල්වා​ගේ උපදෙස් මත ඇල්පිටිය, අම්බලන්ගොඩ, කරන්දෙණිය යන පොලිස් ස්ථාන, ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර දකුණු පළාත් අපරාධ කොට්ඨාසය සහ විශේෂ කාර්ය බළකාය ද සිද්ධිය සම්බන්ධ විමර්ශනවලට එක්ව තිබේ.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ රෝෂන් කුමාරගේ නිවසට ගොස් දේහයට අවසන් ගෞරව දක්වා ඇති අත​ර එහිදී මාධ්‍ය​ය කළ විමසීමේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙම ඝාතනය සිදු කර ඇත්තේ, කොන්ද පණ නැති සතෙකු විසින් බව ත් එවැනි අපරාධකරුවන් රටේ කොයි කොනේ සිටියත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන බවත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.