කුලියාපිටිය, කබලෑව පදිංචිව සිටි 31 හැවිරිදි සුසිත් ජයවංශ නැමැති තරුණයා ඝාතනය කිරිමට නිවසට ගෙන්වාගෙන ඇත්තේ ඔහුගේ පෙම්වතිය විසින් බව ඊයේ (13) අධිකරණයේදි අනාවරණය වී ඇත.

ඒ ඝාතන සිද්ධියේ 9 වන සැකකාරිය ලෙස ඇයව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විසින් නැගූ ප්‍රශ්නයකට පොලිසිය විසින් පිළිතුරු ලබාදුන් අවස්ථාවේදී බවයි සඳහන් වන්නේ.

අදාළ තරුණිය අප්‍රේල් 22 වෙනිදා දුරකථන ඇමතුමක් ලබා දී ඝාතනය වූ තරුණයාව ඇයගේ නිවසට කැඳවා ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තා මඟින් අනාවරණය වී ඇතැයි එහිදී පොලිසිය විසින් අධිකරණයට දැනුම් දි ඇති අතර ඝාතනය සිදුකිරිමෙන් අනතුරුව සැකකාර තරුණිය මීගමුව ප්‍රදේශයේ ඥාති නිවසක සැඟවී සිට දින 20කට පසුව පෙරේදා (12) කුලියාපිටිය පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි පොලිසියෙ හමුවේ ඇය කියා ඇත්තේ අදාළ තරුණයා විසින් වයස අවුරුදු 15 සිට මරණ තර්ජන එල්ල කර බිය ගන්වා අවස්ථා ගණනාවකදී තමන්ව දූෂණයට ලක් කළ බවයි.

කෙසේවෙතත් මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනයක් සිදුකර එම අපරාධය වසන්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (13) වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ද ඉදිරිපත් කර ඇති අතර මෙම 18 හැවිරිදි සැකකාර තරුණිය, ඇයගේ පියා වන සිඟිති නැමැත්තා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.