ඊශ්‍රායල් – හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ ජල සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සියයට 50ක් විනාශ වී හෝ හානියට පත්ව ඇතැයි නවතම වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.

චන්ද්‍රිකා දත්ත උපයෝගී කර ගනිමින් නිකුත් කර ඇති මෙම වාර්තාවට අනුව වැඩිම හානියක් සිදුව ඇත්තේ හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල් හමුදා ආක්‍රමණයෙන් පසුවයි.

ප්‍රහාර හේතුවෙන් ප්‍රධාන ජල පවිත්‍රාගාර 06න් 04ක් ද තවත් ජල සහ සනීපාරක්ෂක පහසුකම් සපයන ස්ථාන 600කටද හානි සිදුව තිබෙනවා.

මෙලෙස විනාශ වූ හෝ හානියට පත් ජල සැපයුම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වලටද දැඩි බාධාවක් එල්ල වී ඇති අතර පිරිසිදු ජලය නොමැති වීම ගාසා වැසියන්ගේ සෞඛ්‍යයටද බරපතල තත්ත්වයක් එල්ල වී ඇති බව සහන සේවකයින් පවසයි