ඇමරිකාවට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ චීන ජාතිකයින් 8 දෙනෙකුගේ සිරුරු මෙක්සිකෝවේ “Oaxaca” ප්‍රාන්තයේ වෙරළේ තිබී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට බලධාරීන් පවසන්නේ නීතිවිරෝධී ලෙස අමෙරිකාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී මෙම පිරිස ගමන් ගත් බෝට්ටුව අනතුරට ලක්වන්නට ඇතැයි සැක කරන බවයි.

මියගිය පිරිස අතර කාන්තාවන් 7 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් සිටි බවද සඳහන් වේ.

එම බෝට්ටුවේ සිටි තවත් එක් අයෙක් දිවි ගලවාගෙන ඇති අතර බෝට්ටුව පැදවූ පුද්ගලයාට කුමක් වූයේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.

මෑතක සිට නීතිවිරෝධී ලෙස අමෙරිකාවට සංක්‍රමණය වීමට උත්සාහ දරන පුද්ගලයින්ගේ ගණන වැඩිවී ඇති අතර එම පුද්ගලයින් බහුලව මෙක්සිකෝව හරහා අමෙරිකාවට යෑමට උත්සාහ ගන්නා බවද වාර්තා වේ.

එමෙන්ම, 2021 වසරේ සිට මිලියන 6.3කට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.