ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් ශ්‍රී ලංකාව ගන්නා ඕනෑම තීරණයක්, ක්‍රියාවක් සම්බන්ධයෙන් තම විරෝධතාවය පළ කර සිටින බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ දකුණු ඉන්දීය සාගර කළාපය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බලවත්ම රට වන්නේ ඉන්දීයාව බවත් එම ආරක්ෂාව ශ්‍රී ලංකාවටත් වැදගත් වන බැවින් ඉන්දීයාවේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් ශ්‍රී ලංකාව ගන්නා තීරණ වලට සිය විරෝධය පළ කර සිටින බවත්ය.

ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබාදෙන්නැයි ඉල්ලමින් චීනය ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවට පළවන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

චීනය ශ්‍රී ලංකාවේ ඉඩම් ලබාගැනීමට උත්සහා දරනු ලබන අවස්ථා වලදි ඉන්දියාව එයට සිය විරෝධය පළ කරනු ලබන බවද ශ්‍රීලංකාව ඉන්දියාව බියගන්වා ඉන්දියාවේ සහාය ලබා ගැනීමට එය අවස්ථාවක් ගන්නා බවද ශ්‍රී ලංකාව පුරුද්දක් වශයෙන් මෙය සිදු කරන බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

චීනය පෙන්වා ඉන්දියාව බිය ගැන්වීමට ශ්‍රී ලංකාව ගන්නා මෙම උත්සහාය තාවකාලික වනු ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ දකුණු ඉන්දීය සාගරයේ මිසක චීන සාගරයක නොවන බවද කීවේය.

ඉන්දීය සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර සිටින්නේ ඉන්දියාව වන අතර එම ආරක්ෂක අවධානය අප රටටත් වැදගත් බවද ශ්‍රී ලංකාව චීන සාගරයේ පිහිටියේ නම් චීනය නව රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ශ්‍රී ලංකාවෙන් අවස්ථාවක් ඉල්ලා සිටීම සාධාරණීකරණය කිරීමට තිබුණු බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනය වන අයුරින් ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ නම් එයට සිය දැඩි විරෝධය පළ කර සිටින බවයි.

රාජිනි මෙන්ඩිස්