ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධූරයක් තිබියදී වුවත් කිසිම කොන්දේසියක් නොමැතිව තමන් රට බාරාගත්තේ නිසි සැලැස්මක්, අත්දැකීම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා තිබු නිසා බව ජනපති පවසා සිටියා.

ඒ හේතුන් නිසා අපායට වැටී තිබු රට ගොඩගත හැකිය යන විශ්වාසය තමන්ට තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම වසරේ ආර්ථික වර්ධනය 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවත් ජනපති වැඩිදුරටත් පවසා සිටියා.

මේ වන විට රටේ උද්ධමනය 1.5% ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6 ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත්, දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.