මැයි 01දා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතයි.

ඒ අනුව හෙට (01) පෙ.ව 10.00ට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළියට ජනපති මුලින්ම සහභාගි වීමට නියමිතයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ සඳහා එක්වන අතර වතුකරයේ ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය සහ පෙළපාලිය පැවැත්වෙනවා.

කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේ ද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි.

අනතුරුව හෙට (01) ප.ව 2.00ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දි පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට ද ජනපති එක්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය පැවැත්වෙනු ඇති.