ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් ඊයේ (23) පස්වරුවේ සිදුව ඇත.

එම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කරුණු 3ක් පිළිබඳව අවධානය යොමුකර ඇති බව සදහ​න්.

එහිදී එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර දෙපාර්ශ්වය එකඟතාව පළකර ඇත්තේ ව්‍යවස්ථානුකූලව ඡන්ද විමසීමක් කැඳවනතුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන විසංවාදයන්ගෙන් තොරව පවතින පොදු අභියෝග ජයගැනීමේ අරමුණු ප්‍රමුඛ කරගනිමින් ඉදිරියට යායුතු බවටය.

එසේම හිටපු පළාත් පාලන නියෝජිතයන්ට ආණ්ඩුවේ පොදු කටයුතු සදහා නිල වශයෙන් සහභාගී විය හැකි වන පරිදි අවස්ථාවක් නිර්මාණය කරදීම පිළිබඳවද එහිදී සාකච්ඡා වී ඇත.

මේ අතර එහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්ව ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ පක්ෂයක් ලෙස වැරදි පූර්වාදර්ශයන්ට ඉඩදීමට නොහැකි බව පොදුජන පෙරමුණේ පොදු තීරණය වන බැවින් එකී වැරදි පූර්වාදර්ශය සම්බන්ධයෙන් ගතයුතු නිල ක්‍රියාමාර්ගය වෙත පක්ෂය මේ වනවිටත් අවතීර්ණ වී අවසන් බවය.