ඉරාකයේ සුප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක මෙන්ම ටික් ටෝක් (Tik Tok) තරුවක වූ ඕම් ෆහාඩ්, සයුනා දිස්ත්‍රික්කයේ බැග්ඩෑග්හි සිය නිවස ඉදිරිපිට දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන ඝාතකයෙක් විසින් ඊයේ (26) වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ගුර්ෆ්‍රාන් සවාඩි (Ghufran Sawadi) වන මැයගේ සමාජ මාධ්‍ය නාමය බවට පත්වූයේ ඕම් ෆහාඩ් යන නමයි.

මෙම නාඳුනන ඝාතකයා ඕම් ෆහාඩ්ට ඇගේ නිවස ඉදිරිපිට මෝටර් රථය තුළ සිටිය​දී මෝටර් රථයේ දොර හැර වෙඩි තබා ඝාතනය කරන අයුරු අසල කැමරාවක සටහන්ව තිබූ අතර එය පහත දැක්වේ.

ඉරාක ආරක්ෂක මූලාශ්‍රයක් පැවසුවේ ප්‍රහාරකයා ආහාර බෙදා හරින සමාගමක ආහාර බෙදා හරින්නෙක් ලෙස වෙඩි තැබීම සඳහා පැමිණ සිටි බවයි.

ඕම් ෆහාඩ් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ඇය සිය සිරුරට හිරවන ලෙ​ස තද ඇඳුම් ඇඳ ඉරාක සංගීතයට නටන සැහැල්ලු හදවත් ඇති ටික්ටොක් වීඩියෝ සඳහා වන අතර “අසභ්‍ය අදහ​ස් ප්‍රචාර​ය සහ මහජන සදාචාරය හෑල්ලු කරන ආකාර​යේ වීඩියෝ” හුවමාරු කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඉරා​ක අධිකරණය ඇයට මාස හයක සිර දඬුවමක් ද නියම කර තිබුණි.

ඉරාකයේ “සදාචාර සහ සම්ප්‍රදායන්” උල්ලංඝනය කළ බව පවසන සමාජ මාධ්‍ය අන්තර්ගතයන් ඉවත් කිරීම සහ විමර්ෂන​ය සඳහා 2023 දී ඉරාක රජය සිය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මුලිකත්වයෙන් කමිටුවක් පත් කරන ලද අතර එහිදී Tik Tok, YouTube සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රචාරයට පත් වූ අහිතකර යැයි සැලකෙන වීඩියෝ කොටස් නිරීක්ෂණය කළ එම අනු කමිටුවේ නිර්දේශ මත ෆඩාහ් ඇතුළු කීප දෙනෙක්ම අත් අඩංගුවට ගන්නා ලදී.

කෙසේ නමුත් මෙම ඝාතනයත් අදාළ සදාචාර සීමා සම්බන්ධ ගැටලුවක් වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සැක පළ කරයි.

සදාම් හුසේන් බලයෙන් පහ කිරීම සඳහා 2003 එක්සත් ජනපද ආක්‍රමණයේ සිට වසර ගණනාවක යුද්ධය සහ නිකායික ගැටුම් තිබියදීත්, ඉරාකය නැවත සාමාන්‍ය තත්වයට පත්ව තිබුනද සිවිල් නිදහස, කාන්තාවන්, සංක්‍රාන්ති ලිංගික සුළුතරයන් සහ අනෙකුත් කණ්ඩායම් සඳහා ගතානුගතික සමාජ සීමා තවමත් ඉරාකය තු​ල ක්‍රියාත්මක වේ.

2018 වර්ශ​යේ දී, නිරූපිකාවක් සහ සමාජ මාධ්‍ය තරුවක් වන Tara Fares ද බැග්ඩෑඩ්හිදී වෙඩි තබා ඝාතනය කරන ලදී.