රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් ලබාදී ඇතැයි අද (10) දෙවන දිනටත් විභාගයට ගත් අවස්ථාවේ දී පෙත්සමක් ගොනුකර තිබූ ලංකා විදුලි සේවක සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් වී ඇත.

විදුලිබල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මෙ​ම පෙත්ස​ම් විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබීය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් සලසා දී තිබෙන බව චෝදනා කළේය.

මෙම පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට බලශක්ති කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් පත් කිරීම, විදුලිය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීම, ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ බලතල යනාදී බලතල ලබාදී ඇ​ති බවත් නීතිඥවරයා සඳහන් කර ඇ​ත.

ඊට අමතරව බලපත්‍ර නිකුත් කිරීම, අවලංගු කිරීම, වෙනස් කිරීම වැනි බලතල ද විෂයභාර අමාත්‍යවරයාට පවරාදී ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා මෙම පනත් කෙටුම්පත තුළින් ජනාධිපතිවරයාට නොදෙවෙනි බලයක් විදුලිබල විෂය භාර අමාත්‍යවරයාට ලබාදී ඇති බවටත් චෝදනා කර ඇත.

මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත යටතේ විදුලි ක්ෂේත්‍රයේ ඒකාධිකාරී තත්ත්වයන් නිර්මාණයවීම වළක්වා තිබුණද යෝජිත නව පනත් කෙටුම්පත තුළින්ම විදුලිය පිළිබඳ ඒකාධිකාරී තත්ත්වයන් නිර්මාණයවීමට මං පාදා තිබෙන බවත්, යෝජිත පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාපති බලතල කප්පාදුවට ලක් කර තිබෙන බවත් ඔහු සඳහන් වැඩිදුරටත් සදහන් කර ඇත.

ඉන් අනතුරුව තවත් පෙත්සම්කාර පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද කරුණු ඉදිරිපත් කළ අත​ර වැඩිදුර පෙත්සම් විභාගය කල් තැබුණි.

අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පාර්ශ්ව 14ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමතවී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම්වලින් ඉල්ලා තිබේ.