සමගි ජනබලවේගයේ සහ ජාතික ජන බලවේග​යේ ආර්ථික කමිටු අතර විවාදය සඳහා මේ දක්වා දිනයක් ලබාදීමට ජාතික ජනබලවේගය කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේග​ය රටේ ආර්ථිකය හසුරුවන්නේ කෙසේද දැයි රටේ ජනතාව දැනගත්තාට පසුව පක්ෂ දෙකේ නායකයන් දෙපළ අතර විවාදය පැවැත්විය හැකි බවත් විවාද දෙකටම සමගි ජනබලවේගය සහ සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බවත් හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජාතික ජන බලවේග​ය​ට ආර්ථිකය සම්බන්ධ විවාදයට සහ‍භාගි කරවන්න පුද්ගලයෙක් නොමැතිනම් ලාල්කාන්ත මහතා ඒ සඳහා සහභාගි කරවන්නැයි​ද හෙක්ටර් අප්පුහාමි එහිදි පැවසීය. අද (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හෙක්ටර් අප්පුහාමි කියා සිටියේ,

‘‘සමගි ජනබලවේගයේ ආර්ථික කණ්ඩායම සමඟ සුහදව විවාදයක් පවත්වන්න පැමිණෙන්න කියලා ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කළා. මඩ ගැසීම්වලින් තොරව රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙලළ ගැන කතා කරන්න තමයි සමගි ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කළේ. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවට විවාදයට පැමිණිමට නොහැකිනම් ජනතා විමුක්ති පෙරමුණට උදව් කරන ව්‍යාපාරිකයන්ට හෝ මේ විවාදයට පැමිණෙන්න කියලා අරාධනා කරනවා.

ආර්ථික කමිටු අතර විවාදය පැවැත්වීම සඳහා සමගි ජනබලවේගය විසින් ජනතා විමුක්ති පෙරමුණට දින 5 ක් ලබා දුන්නා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ තවම ඒ සඳහා දිනයක් ලබාදීලා නෑ. ආර්ථික කමිටු දෙක අතර විවාදය පවත්වා පක්ෂ දෙක රටේ ආර්ථිකය හසුරුවන්නේ කෙසේද කියා රටේ ජනතාව දැනගත්තාට පසුව නායකයන් දෙපළ අතර විවාදය පවත්වමු. විවාද දෙකටම සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම්.

අනාගතයේදී රට භාර ගන්න දේශපාලන ව්‍යාපාරය බදු සම්බන්ධව , ආයෝජන සම්බන්ධව , අපනයන සම්බන්ධව , කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් සම්බන්ධව , පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරිම සම්බන්ධයෙන් රටේ ජනතාව දැඩි විමසිල්ලෙන් බලාගෙන සිටිනවා. ඒ වගේම රාජපක්ෂලා බංකොලොත් කරපු රට නැවත නිර්මාණය කිරිමේ ශක්තිය තිබෙන්නේ කුමන දේශපාලන පක්ෂයට කියන කාරණය පිළිබඳව රටේ ජනතාවට දැන ගැනිමට අවශ්‍යයි.

ජනතා විමුක්ති පෙරමුණට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් යම් දැනුමක් , වැඩපිළිවෙළක් තිබෙනවානම් කරුණාකරලා සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ වාඩිවෙලා විවාද කරන්න පැමිණෙන්න. එතනදී ජනතා විමුක්ති පෙරමුණේ රට ආර්ථික වශයෙන් ගොඩ ගැනිමේ වැඩපිළිවෙළ අදහස රට ඉදිරියේ ප්‍රකාශ කරන්න.

ලාල්කාන්ත මහත්තයා ජනතා විමුක්ති පෙරමුණ ගැන ඇත්ත කතාකරන පුද්ගලයෙක්. විවාදයට එවන්න කවුරුත් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත මහත්තයාව එවන්න විවාදයට. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික වැඩපිළි‍වෙළ ගැන රටට කියන්න බයයි නම් බයයි කියලා කියන්න.” යනුවෙනි.