සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාද නොකර පලායාමට ජාතික ජන බලවේගය උත්සහ කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද (10) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සඳහන් කළේය.

එහිදී මන්ත්‍රිවරයා අදහස් දක්වමින් කියා සිටි​යේ,

‘‘සමගි ජනබලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නැතිනම් ජනතා විමුක්ති පෙරමුණේ විවාද සටන මේ දවස් වල රටේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබෙනවා. මීට මාසයකට පමණ පෙර තමයි ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව පිළිබඳව එහි නායකයා අදහසක් ප්‍රකාශ කළේ. මාසයක පමණ පෙර ජාතික ජන බලවේගයේ නායකයාගෙන් මාධ්‍යවේදියෙක් අහනවා ජාතික ජන බලවේගයේ මුදල් ඇමැති කවුද කියලා. නමුත් ඒ සඳහා අනුර කුමාර දිසානායකට උත්තරයක් තිබුණේ නෑ. ඒ වෙනුවට සුනිල් හදුන්නෙත්ති , වසන්න සමරසිංහ සහ තවත් තිදෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් තමයි ආර්ථිකය මෙහෙයවන්නේ කියලා අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. මේ අයගෙන් කෙනෙක් මුදල් ඇමැති කරනවා කියලත් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. මේ ප්‍රකාශයෙන් පසුව තමයි මම ජාතික ජන බලවේගයට අභියෝගයක් ඉදිරිපත් කළේ.

ජාතික ජන බලවේගයට කරපු පළමු අභියෝගය මාධ්‍යවල ගියෙත් නෑ. නමුත් දිගින් දිගටම මම අභියෝග කළා. ඊට පස්සේ තමයි ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව තුන්දෙනෙක් බවට පත් වුණේ. සුනිල් හදුන්නෙත්ති , ආචාර්ය සීතා බණ්ඩාර , මහචාර්ය අනිල් ජයසිංහ මේ තුන්දෙනාගෙන් සැදුම්ලත් කමිටුවක් තමයි අවසානයේ නිර්මාණය වුණේ. සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවේ ඉරාන් වික්‍රමරත්න , කබිර් හෂීම් සහ ආචාර්ය හර්ෂ ද සිල්වා සිටිනවා. සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව නම් කරලා සෑහෙන්න කාලයක් වෙනවා. නමුත් තවම ජාතික ජනබලවේගය විසින් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව පිළිගන්න සුදානම් නෑ. ජාතික ජන බලවේගය ආර්ථික කමිටුවක් පත් කළ නිසා තමයි සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාදයටකට එන්න කියලා ඔවුන්ට ආරාධනා කළේ. මේ විවාදය කරළියට ගෙනාවට පසුව ජාතික ජන බලවේගය විසින් අභියෝගය භාර ගන්නවා වෙනුවට ඔවුන් ප්‍රකාශ කළා ජනාධිපතිධූර අපෙක්ෂකයන් දෙදෙනා අතර විවාදයක් තියමු කියලා. සමගි ජනබලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් පැවැත්විය යුතු බව තමයි මම කිව්වේ. ඒ අභියෝගය භාර ගන්නවා වෙනුවට ජාතික ජන බලවේගය කිව්වා ජනාධිපතිධූර අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදයක් පවත්වමු කියලා. ජාතික ජන බලවේගය හිතුවා සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා විවාදයට එන්නේ නැති වෙයි කියලා. නමුත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා නොබියව ජාතික ජන බලවේගය සිදුකළ අභියෝගය භාර ගත්තා.

සියලුම මාධ්‍ය ඉදිරියේ ජනතාව ඉදිරියේ මේ විවාදය පැවැත්විය යුතුයි. ලක්ෂ 220 ටම බලන්න පුලුවන් විවාදයක් කරමු කියලා විපක්ෂ නායකතුමා ප්‍රකාශ කළා. විවාදයට කාල සීමාවක් අවශ්‍ය නෑ කියලත් විපක්ෂ නායකතුමා කිව්වා. ඕනම කාලයක් විවාද කරන්න විපක්ෂ නායකතුමා සූදානම්. විපක්ෂ නායකතුමා විවාද වලට බය නෑ. ඔහු දැනුම් ගබඩාවක් තිබෙන පුද්ගලයෙක්. ඔහු යාවත්කාලීන වන නායකයෙක්. ආර්ථික කමිටු දෙක කතා කරන්න ඕන ආර්ථිකය ගැන. නමුත් නායකයන්ට ආර්ථිකය පිළිබඳව විතරයක් නෙවෙයි නොයෙකුත් විෂයන් පිළිබඳව කතාකරන්න තිබෙනවා. ආර්ථිය , විදේශ සබඳතා , අධ්‍යාපනය , සේවා ආර්ථිය , සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාසායකයන් පිළිබඳ නායකයන්ට විවාද කරන්න බොහො කරුණ තිබෙනවා. මේ කරුණු කතා කරන්න බය නිසා තමයි ජාතික ජන බලවේගය විවාද වලින් පස්ස ගහන්නේ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අභියෝගය භාරගත් පසු ජාතික ජන බලවේගය නියෝජනය කරන හරිනි අමරසූරිය කියනවා ජනාධිපතිධූර අපෙක්ෂකයෝ විදිහට සජිත් ප්‍රේමදාස , අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහවත් විවාදයට සහභාගි කරගමු කියලා. හරිනි අමරසූරිය සහ අනුර කුමාර දිසානායක කොහොමද දන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූර අපේක්ෂකයෙක් කියලා.” බව​යි