ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට සමගි ජනබලවේගය ජාතික ජනබලවේගයට අභියෝගයක් කළ බවත් නමුත් තවම ජාතික ජනබලවේගය එම අභියෝගය භාරගෙන නැති බවත් ස.ජ.බ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ පවසයි.

මෙම විවාදයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාවත් සම්බන්ධ කර ගත යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ රැකගන්න සිටින පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවත් සුජීව සේනසිංහ එහිදී පැවසීය.

එමෙන්ම ඉදිරි මැතිවරණයෙන් සමගි ජනබලවේගය ජයගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානය වන සිරිකොත සමගි ජනබලවේගය සතු වන බවත් සමගි ජනසන්ධානය බිහිකිරිම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට විශාල ප්‍රශ්නයක් වී ඇති බවත් සුජීව සේනසිංහ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ,

‘‘පසුගිය සති අන්තයේ සමගි බුද්ධි මණ්ඩපයේ ජාතික සමුළුම පැවැත්වුණා. ඒ සඳහා ලංකාව පුරා විහිදි සිටින විශ්ව විද්‍යාල මහාචාර්වරු , ආචාර්යවරු විශාල ප්‍රමාණයක් එක්වී සිටියා. එහිදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සහ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. එහිදී ඉන්දියාව සහ සිංගප්පූරුව දියුණු වුණ ආකාරය පිළිබඳව ඒ රටවලින් පැමිණි ආචාර්යවරු පැහැදිලි කළා. ඒ සම්බන්ධයෙන් විශාල දැනුමක් එහිදී ඔවුන් ලබාදුන්නා. ඒ වගේම ලංකාව දියුණු රටක් බවට පත් කරන්න අනෙකුත් මහාචාර්යවරුන්ගේ ආචාර්යවරුන්ගේ අදහස් සහ යෝජනා සමගි ජනබලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කිරිමටත් බලාපොරොත්තු වෙනවා. සමගි බුද්ධි මණ්ඩපයේ ජාතික සමුළුමට සහභාගි වුණ සියලුම විශ්ව විද්‍යාල මහාචාර්වරු , ආචාර්යවරුන්ට අපි ස්තුති වන්ත වෙනවා. ඒ වගේම ඉදිරියේදී රට ගොඩනගන වැඩපිළිවෙළ සඳහා විශ්ව විද්‍යාල මහාචාර්වරු , ආචාර්යවරු එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා.

උගත් පිරිස් සමගි ජනබලවේගයට එකතු කරගන්නවා කියන්නේ වියත්මග වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිම නෙවෙයි. වියත්මග හරහා සිදුවුණේ වෙනම කාරණයක්. රට ගොඩනගන වැඩපිළිවෙළට උගත් බුද්ධිමත් පිරිසගේ අදහස් ලබාගත යුතුයි. ඒ සඳහා හොද නායකත්වයක් සහ හොද කණ්ඩායමක් සිටිනවා.

ලෝකයේ ආර්ථික ක්‍රමය බවට පත්වෙලා තිබෙන්නේ විවෘත ආර්ථිකය. චීනය , සිංගප්පූරුව වැනි රටවල් අද විවෘත ආර්ථිකය ප්‍රගුණ කරලා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඇතිවුණ දේශපාලන සුනාමි හේතුවෙන් විවෘත ආර්ථිකය හරහා ගොඩයන්න ශ්‍රී ලංකාවට නොහැකි වෙලා තිබෙනවා.

අවුරුදු 30 ක් එක්සත් ජාතික පක්ෂයෙන් නායකයෙක් බිහිවෙලා නෑ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිවෙලා නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුගේ බලය රැකගන්න ඕන නිසා විවිධ පාර්ශ්ව සමඟ සම්බන්ධ වෙලා තමයි ආණ්ඩු නිර්මාණය කළේ. 1994 න් පසුව අවුරුදු 30 ක කාලයක් රට සංවර්ධනය කරන්න එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ලැබුණේ නෑ.

ඒ වගේම සමගි ජනබලවේගයේ මැයි දින රැළියට විශාල ජනතාවක් ඒකරාශි කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ වනවිට වැඩකටයුතු සූදානම් කරමින් පවතිනවා. සමගි ජනබලවේගයේ මැයි දින රැළිය සැලසුම් සහගතව අති සාර්ථිකව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. වැඩකරන ජනතාවගේ ජයග්‍රහනය කියන්නේ අපේ ජයග්‍රහනය.

සමගි ජනබලවේගය ඕනෑම මැතිවරණයට සූදානම් ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය මේ දිනවල බිම් මට්ටමින් ක්‍රියාත්මක කරගෙන යනවා. ජනාධිපති අපෙක්ෂකයන්ගෙන් හොදම කෙනා තොරා ගැනීමට ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
ඊළඟ ආණ්ඩුව පිහිටුවන කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවන්න සිද්ධ වෙන්නේ ඉතාම අසීරු අවස්ථාවක. රට තිබෙන තත්ත්වයෙන් ගොඩගත හැකි කණ්ඩායමකට රට භාර නොදුන්නොත් රට තිබෙන තත්ත්වයෙන් තවත් විශාල අගාධයකට වැටෙන්න පුළුවන්. නිවැරදි පරිපාලයක් තුළින් රට දියුණු තත්ත්වයකට ගේන්න පුලුවන්. ඒ වගේම අතරමං වී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් සමගි ජනබලවේගයට එකතු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.

ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට සමගි ජනබලවේගය ජාතික ජනබලවේගයට අභියෝගයක් කළා. නමුත් තවම ජාතික ජනබලවේගය ඒ අභියෝගය භාරගෙන නෑ. ඒ වගේම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ප්‍රකාශ කරලා තිබෙනවා මෙම විවාදයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාවත් සම්බන්ධ කර ගත යුතුයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ රකින්න සිටින එකම පුද්ගලයාටත් ඔවුන් අද විවාදයට කතා කරනවා.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ සමගි ජනබලවේගයට වෙනම විවාදයක් කරන්න පුලුවන්.”