වසරේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයින් 686,321 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 106,004ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂ දෙකකට අධික පිරිසක් ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අතරින් යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා ලක්ෂයකට අධික විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණ තිබේ.

ඊට අමතරව වස්ගමුව, කුමන, විල්පත්තුව, බුන්දල, උඩවලව, මින්නේරිය සහ කවුඩුල්ල වැනි ජාතික වනෝද්‍යාන නැරඹීමට විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇති බව වාර්තා වේ.

වසරේ ගත වූ මාස තුන තුළ ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින්ගෙන් රුපියල් කෝටි 200කට අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව සඳහන්ය.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජාතික වනෝද්‍යාන මඟින් උපයා ගත හැකි ආදායම ඉහළ යා හැකි බව වාර්තා වේ.