දීප ව්‍යාප්තව විදුලිවැට පරීක්ෂාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මඟින් විදුලිසැර වැඳීමෙන් වනඅලි මියයාම් අවම කරගැනීමට කටයුතු කරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වාර්ෂිකව සිදුවන වනඅලි මරණ අතුරෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රමිතියෙන් තොර විදුලිවැට සහ අනවසර විදුලි රැහැන් ඇඳීම හේතුවෙන් සිදුව ඇති බවත් 2010 වසරේ සිට මේ දක්වා කාලය  තුළ වනඅලි මියයාම් අතරින් 470ක් විදුලිසැර වැදීම් හේතුවෙන් සිදුව තිබෙන බවත් වනජීවි සං‍රක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි .

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් පසුගිය වසරේ දී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 72කි.

මේ හේතුවෙන් විදුලිසැර වැඳීමෙන් සිදුවන වනඅලි මරණ වැළැක්වීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව උපාය මාර්ගික ප්‍රවේශයන් දෙකක් හඳුනාගෙන ක්‍රියාත්මක කරනු ලැබු බව සඳහන්ය.

එහිදි වනඅලි හෝ වෙනත් සතුන් ඉලක්ක කරගනිමින් විදුලිය භාවිත කර විවිධ බාධක හා උගුල් ඇටවීමට එරෙහිව නීතිය දැඩි කිරීමටත් ප්‍රමිතියෙන් තොර විදුලිය භාවිත කරන සංචරන බාධක ඉදිකිරීම වැළැක්වීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ගත වූ මාස කිහිපය තුළ දීප ව්‍යාප්තව පුද්ගලික විදුලිවැට පරීක්ෂා කිරීම් 2,000ක් සිදුකර ඇති අතර ඉන් සියයට 30ක් පමණ ප්‍රමිතියෙන් තොර බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවේය.

මේ අතර ගත වූ මාස කිහිපය තුළ අලි මරණ 87ක් සිදුව තිබේ.

ඉන් මරණ 45ක් සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වෙඩි තැබීම් හේතුවෙන් මරණ 16ක් ද විදුලිසැර වැදීම් හේතුවෙන් මරණ 15ක් ද හක්ක පටස් ආහාර ගැනීමෙන් මරණ 09ක් ද සහ විෂ ශරීර ගත වීම් හේතුවෙන් මරණ දෙකක් ද වශයෙන් සිදුව තිබේ.